ගෝඨා හිරේ තියාගෙන හරි ඡන්දය කරනවා


(විනීතා එම් ගමගේ)
 ජනාධිපති අපේක්ෂකයා ලෙස පිවිතුරු හෙළ උරුමය යෝජනා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කළත්  සිරගෙදර තබාගෙන ඔහු වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

සිරගත වී සිටියදී මැතිවරණය ජයගැනීම ඉතා පහසු බව අතීත අත්දැකීම් වලින් පෙනී යන්නේ යැයි කී ගම්මන්පිල මහතා මේ අවස්ථාවේ එවැනි උදව්වක් එජාපයෙන් ලැබෙනවා නම් එය මහඟු උපකාරයක් වනු ඇතැයි ද කියා සිටියේය.

එජාපය පරාජය කළ හැකි පුළුල්ම සන්ධානය බිහිකළ යුතු යැයි ද එහි දී මෛත‍්‍රිපාල සිරිසේන මහතා යම් ගෞරවනීය තැනෙක තැබිය යුතු නම් ඒ සඳහා ද සහය දීමට සූදානම් යැයි ද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපති අපේක්ෂක විය යුතු ගෝඨාභය රාජපක්ෂ මහතා වන අතර අගමැති විය යුතු මහින්ද රාජපක්ෂ මහතා යැයි තම පක්ෂය වසර හතරක සිට කරන ප‍්‍රකාශය අද මුළු රටම පිළිගෙන අවසන් යැයි ද ගම්මන්පිල මහතා පැවැසීය.

කෙසේ වෙතත් මේ අවස්ථාවේ බැලිය යුත්තේ අපට ඇමැති ධූර කියක් ලැබේද වැනි දේ පිළිබඳව නොව එජාපය නියතවම පරාජය කළ හැකි පුළුල් පෙරමුණක් බිහිකිරීම ගැන පමණකැයි හෙතෙම සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ ඇඹුල්දෙණිය මැක්රින් හෝටලයේ අද (7) පැවැති පිවිතුරු හෙළ උරුමයේ විශේෂ මාධ්‍ය හමුවක දීය.

ජනාධිපතිතුමාට දෙගිඩියාවක් ඇති වී ඊළඟ මැතිවරණය පැවැත්වෙන දිනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අසන්නට යන බවට ලොකු රාවයක් පැතිරෙමින් ඇතැයි කී ගම්මන්පිල මහතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු පහක් වන අතර  2005 දී අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් තීන්දු කලේ ජනාධිපතිවරයා දිවුරුම් දුන් දින සිට සිය ධූර කාලය පටන් ගන්නා බව යැයි ද පෙන්වා දුන්නේය.

වත්මන් ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ 2015 ජනවාරි 09 දා බැවින් ඔහුගේ ධූර කාලය එදා සිට වසර පහකින් එනම් 2020 ජනවාරි 09 දා අවසන් වන බවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31(3* වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමට මාසයකට නොඅඩු මාස දෙකකට නොවැඩි කාලයක් තුල ඊ ලඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු යැයි ද  ඒ අනුව 2019 නොවැම්බර් 09 සහ දෙසැම්බර් 09 අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතු යැයි දහෙතෙම  කියා සිටියේය.