ගොවියකුගෙන් අල්ලස් ගත් දෙදෙනෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
අලහැර ප්‍රදේශයේ ගොවියකුගෙන් රුපියල්  58,000 ක් අල්ලස් ගත් කෘෂිකර්ම පර්යෙක්ෂණ නිෂ්පාදන සහකාරවරයකු හා සංවර්ධන නිලධාරියකු අද (27) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.

2018 යල කන්නයේ සිදුවූ වගා හානි වෙනුවෙන් වන්දි මුදල් ලබාදීම වෙනුවෙන් හා ඉදිරියේ දී වග වගා හානි වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා මෙම මුදල් ඉල්ලා ඇතැයි අධ්‍යක්ෂකවරයා කීය.

කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා බකමුණ ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිටදීත් සංවර්ධන නිලධාරිවරයා  පොලොන්නරුව නව නගරය දිස්ත්‍රික් කාර්යාලයේ කෘෂිකර්ම රක්ෂණ මණ්ඩලය තුළදීත් අත්අඩංගුවට ගත් බව ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා කීය.

සැකකරුවන් දෙදෙනා හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.