
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සඳහා ජාතික ගොඩනැගිලි කේත සංග්‍රහයක් (Building Codes) සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගොඩනැගිලි කේත යනු ජනතාවගේ ආරක්ෂාව, සෞඛ්‍යය සහ සුබ සාධනය සහතික කිරීම මෙන්ම ආපදා අවදානම් අවම වන අයුරින් ගොඩනැගිලි සැලසුම් කිරීම, ඉදිකිරීම, නඩත්තු කිරීම සහ වෙනස් කිරීම සම්බන්ධ අවම නීතිමය හා තාක්ෂණික අවශ්‍යතා සහිත රෙගුලාසි මාලාවකි.
එකී කේත මඟින් ගොඩනැගිලි වල ව්‍යුහාත්මක අඛණ්ඩතාව, ගිනි ආරක්ෂාව, විදුලි පද්ධති, ජල නළ පද්ධති, බල ශක්ති කාර්යක්ෂමතාව සහ ආපදා ප්‍රතිචාර හැකියාව වැනි විවිධ අංශයන් යටතේ සම්පූර්ණ ඉදිකිරීම් ක්ෂේත්‍රයම ආවරණය කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ දැනට බලාත්මක ජාතික ගොඩනැගිලි කේත සංග්‍රහයක් නොමැතිවීම හේතුවෙන් ඉදිකිරීම් වල ව්‍යූහාත්මක ආරක්ෂාව, ගුණාත්මක භාවය සහ නියාමනය පිළිබඳ ගැටලු පැන නැගී තිබේ.
එකී තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව සඳහා ජාතික ගොඩනැගිලි කේක සංග්‍රහයක් පිළියෙල කිරීම හා ස්ථාපිත කිරීම සඳහා 2019-04-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ගොඩනැගිලි කේත සකස් කිරීමේ අදියරේදී අදාළ පාර්ශ්ව කරුවන් සම්බන්ධ කරගෙන, ජාතික ගොඩනැගිලි කේත සංකල්පය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලෝක බැංකු සමූහය විසින් සපයා දී ඇත. එමෙන්ම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද දේශගුණික රාජ්‍ය ආයෝජන කළමනාකරණ ඇගයීම් මඟින් යෝජනා කරනු ලැබූ අවසන් සිව් වැදෑරුම් නිර්දේශයන් අතර දේශගුණික ව්‍යසනයන්ට ප්‍රත්‍යස්ථ ජාතික ගොඩනැගිලි කේත සම්පාදනය කිරීම ප්‍රමුඛ කටයුත්තක් ලෙස පෙන්වා දී ඇත.
ඒ අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික ගොඩනැගිලි කේත සංග්‍රහයක් (Building Codes) සම්පාදනය කිරීම පිණිස ව්‍යාපෘති යෝජනාවක් සකස් කරනු ලැබ ඇත. එම ව්‍යාපෘති යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

																	
																	
																	
																	
																	
																	