ගොඩකවෙලදී සිදු වූ අනතුරකින් 19 ක් රෝහලේ


(රෝහණ සමරවීර)
 

පෞද්ගලික බස් රථයක් නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි   පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් කළ බව රක්වාන පොලිසිය කියයි.

අනතුරට පත් බස් රථයේ පිරිස මාතර හක්මන ප‍්‍රදේශයේ  පදිංචි සිට අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ මංගල උත්සවයකට  සහභාගි වී නැවත  මාතර ප‍්‍රදේශය දක්වා යමින්  සිටියදී  ගොඩකවෙල ගලහිටියේදී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ පිරිස ගොඩකවෙල දිසා රෝහලට ඇතුලත් කර තිබේ. එම තුවාලකරුවන් අතරින්  කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු වැඩිදුර ප‍්‍රතිකාර සදහා කහවත්ත මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලිසිය කියයි.

මේ වනවිට ගොඩකවෙල දිසා රෝහලේ කාන්තාවන් එකොළොස් දෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙනෙක්  ප‍්‍රතිකාර ලබන බවත් ඒ අතර කුඩා ගැහැණු දරුවන් තිදෙනෙකු සිටින බව පොලිසිය කියයි.

තම රෝහලේ ප‍්‍රතිකාර ලබන තුවාල කරුවන්  සියලු දෙනාම සුළු තුවාල  සහිත අයවලුන් බවත් වෛද්‍ය පරීක්‍ෂණ කටයුතු කීපයක්  සිදු කිරීම සදහා තුවාලකරුවන් හය දෙනෙකු කහවත්ත මූලික රෝහලට යොමු කළ බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවැසීය.

රත්නපුර දෙස සිට පැමිණි  බස් රථය නවතා තිබුණු කන්ටේනර් රථයේ  පිටුපස ගැටීමත්  සමග එම කන්ටේනර් රථය ඉදිරියේ නවතා තිබුණු තවත් කන්ටේනර් රථයක ගැටී නතර වී තිබුණු බව පොලිසිය කියයි.

වාහන අමතර කොටස් තොගයක් රැගත් කන්ටේනර් රථයක් ගලහිටිය ප‍්‍රදේශයේ කාර්මික දෝශයක් හේතුවෙන් නවතා තිබී ඇත. රත්නපුර දෙස සිට ඇඹිලිපිටිය දෙසට වෙනත් කන්ටේනර් රථයක් පැමින එම කන්ටේනර් රථය පිටුපස නතරකර තිබුණු අවස්ථාවක ඊයේ රාත්‍රියේ එම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියයි.