(නිමල කොඩිතුවක්කු)
ගොවීන්ගෙන් වට්ටක්කා තොග මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලීම මත මහා භාණ්ඩාගාරය රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙන්කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹදී අද (8) පැවසීය.
මෙවර වට්ටක්කා අස්වැන්න ඉහළ යාමත් ඊට සාපේක්ෂව වෙළඳපොලේ මිළ පහළ යාමත් හේතුවෙන් අසීරු තත්වයට පත්වූ ගොවීන් ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත් බවද ඔහු කියා සිටියේය.
නව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමෙන් පසුව කොළඹ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයේ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසුව අමාත්‍යවරයා මේ බව පැවසීය.
එම මුදල් මේ වන විටත් දිස්ත‍්‍රික් කෘෂිකර්ම නිළධාරීන් වෙත මුදා හැර ඇති අතර වට්ටක්කා අස්වනු මිලදී ගෙන සුදුසු පරිදි වෙළඳපොළ වෙත නිකුත් කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී අදාළ නිළධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
වගා කටයුතු වලදී ගොවින් වෙළඳපොළ සහ කාළගුණික තත්ත්වය සැළකිල්ලට ගනිමින් වගා කටයුතු සඳහා යොමු කිරිමට අවශ්‍ය විද්‍යාත්මක ප‍්‍රවේශයක් සිදු කරන ලෙසටද මහින්ද අමරවීර මහතා එහිදි නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. බී වීරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වුහ.

