( දිල්රුක්ෂි ග්‍රේරු )
වත්තල , රාගම, කිරිබත්ගොඩ, කැලණිය අවට ප්‍රදේශයන්හි රාත්‍රි කාලයේ ගෙවල් බිඳ කොල්ලකෑ පුද්ගලයින් සිව් දෙනකු භාණ්ඩ රැසක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ලක්ෂ 17 පමණ වටිනා රන්භාණ්ඩද , මුදලින් රුපියල් ලක්ෂ 4ක් පමණ , සහ ලක්ෂ 45ක් පමණ වටිනා විදුලි උපකරණද සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර හමුදාවේ සේවය අතහැර ගිය අය සිටින බවද මෙම පුද්ගලයින් ගෙවල් බිඳුම් 15 කට පමණ සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
මුදල් , ජංගම දුරකතන, අත් ඔරලෝසු , රන් භාණ්ඩ , පාපැදි , වතුර මෝටර් ඇතුළු භාණ්ඩ රැසක් පොලිසිය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සිව් දෙනා කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් රාගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන්ගෙන් තිදෙනකු සතුව හෙරොයින් තිබූ බවද පොලීසිය සඳහන් කළේය.
මාස ගණනාවක මෙහෙයුමකින් පසු මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර රඳවා ප්‍රශ්න කරමින් සිටි සැකකරුවකු දුන් තොරතුරු අනුව අනික් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සොරකම් පිළිබධව සියලු විස්තර අනාවරණය කර ඇත. මොවුන් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් බව පොලීසිය කියයි. මොවුන්ට විරුද්ධව කඩවත සහ රාගම යන පොලිස් ස්ථානයන්හි නඩු 20 කට අධික සංඛ්‍යාවක් පවතින බවද පොලීසිය සඳහන් කළේය.
හොරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අලුත්කඩේ අංක 05 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගෙවල් බිදුම් සම්බන්ධව ආදාල අධිකරණවෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කළේය.
කැලණිය කොට්ඨාසබාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස්,බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න යන මහත්වරුන්ගේ මෙහෙය වීමෙන් ම පෑලියගොඩ,කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා සහ පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.



