ගෘහසේවිකාවන්ට දඬුවම් බද්දක්


(බිඟුන් මේනක ගමගේ) 

 

විදෙස් ගමන් බලපත් එක්දින සේවා ගාස්තුව රුපියල් 15,000 දක්වා වැඩිකිරීමට අයවැයෙන් ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනි සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි.

අවම ජීවන තත්ත්වයක් මැද රටට විදේශ විනිමය ගෙනෙන ලාංකික කාන්තාවන්ට මෙම අයවැය යෝජනාව සෘජුවම බලපාන්නේ යැයි ද මෙය සැලකිය හැක්කේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් 80% කට වැඩි පිරිසක් නියෝජනය කරන ගෘහ සේවිකාවන්ට පැනැ වූ දඬුවම් බද්දක් හැටියට යැයි ද ගුණසිංහ මහත්මිය කීවාය.

එක්දින සේවාවට මෙතෙක් අය කළ රුපියල් 10,000 ගාස්තුව 15,000  දක්වා ඉහළ දැමීමට රජය තීන්දු කර ඇත්තේ එක් බලපතකින් රුපියල් 8000 ක් පමණ ශුද්ධ ලාභයක් ලබන අවස්ථාවක යැයි ද එය ඉමහත් අසාධාරණ තීරණයක් යැයි ද ඇය අවධාරණය කළාය. 

රුපියල් 2500 කට  පැවැති එක්දින සේවා ගාස්තුව වසර කීපයක් ඇතුළත මෙසේ ඉහළ දැමීමට රජය පියවර ගත්ත ද එහි නිෂ්පාදන වියදම රුපියල් 1500 ක් යැයි ද ගුණසිංහ මහත්මිය කීවාය. 

මීට අමතරව මෙවර අයවැයෙන් රජය මුළු ජනගහණයෙන් 51% කට අධික කාන්තාව මුළුමනින්ම අමතක කර ඇතැයි චෝදනා කළ ඇය ක්‍ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිර වී සිටින උතුර, නැගෙනහිර හා  උතුරුමැද යන පළාත්වල කාන්තාවන්ට දුන් පොරොන්දුවලට පයින් ගසා ඇතැයි ද කීවාය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිර වී සිටින කාන්තාවන්ට රුපියල් ලක්ෂයක් දක්වා වූ ණයවලට සහනයක් දෙන්නට මැදිහත් වන බවට රජය අයවැයට පෙර පොරොන්දු දුන්නත් එය අයවැය යෝජනාවලට අන්තර්ගත කර නැතැයි ද ගුණසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.