ගෘහ සේවිකාවන් රට යවද්දී හාම්පුතුන්ගේ පවුලේ සෞඛ්‍යය ගැනත් විමසිලිමත් වෙයි


 (විනීතා එම් ගමගේ)
මැදපෙරදිග රටවලට ගෘහ සේවිකාවන් යැවීමේ දී සේවා ස්ථානය හා හාම්පුතුන් පිළිබඳ ලබාගන්නා තොරතුරු වලදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ශාරිරික හා මානසික සෞඛ්‍යය පිළිබඳ තොරතුරු ද  ලබා ගැනිමට ඉදිරියේ දී කටයුතු කරන බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය. 

මේ  සම්බන්ධව විදේශ රැකියා අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතා සමඟ  සාකච්ඡා කර වැඩ පිළිවෙලක් සකසන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

ගෘහ සේවිකාවන් යැවීමේ දී සේවය කළ යුතු නිවසේ නිවැසියන් සංඛ්‍යාව, නිවසේ විශාලත්වය, හාම්පුතුන්ගේ රැකියා ආදී තොරතුරු ලබා  ගන්නා නමුත් නිවැසියන්ගේ ශාරිරික හා මානසික සෞඛ්‍යය පිළිබඳව තොරතුරු ලබා ගැනීමක් සිදු නොකරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. 

ඉකුත් මාර්තු මාසයේ දී සේවය කළ නිවසේ සාමාජිකයෙකු විසින් ශ්‍රී ලාංකික ගෘශ සේවිකාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ දී එම  නිවසේ මානසික රෝගියෙකු සිටින  බව නොදැන ඇය එම නිවසේ සේවයට ගිය බවක් පෙනී යන්නේ යැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා එවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්විය යුතු යැයි ද කියා සිටියේය. 


මේ සඳහා නව වැඩපිළිවෙලක් ඉක්මණින්ම සකස් කළ යුතු බව නානායක්කාර මහතා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.