ගුවන්තොටුපොළේ වැඩ ප්‍රමාදය ගැන ජපානයට පැමිණිලි කරන්න යයි


( තිළිණි ද සිල්වා )

 

කටුනායක ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ බී පැකේජයේ ඉදිකිරීම් දිගින් දිගටම ප්‍රමාද කරන ජපාන කොන්ත්‍රාත් සමාගම සම්බන්ධයෙන් ජපාන රජයට පැමිණිලි කිරීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත.

 

ඒ සම්බන්ධයෙන් මෙරට ජපාන තානාපතිවරයාට දැනුම් දෙන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතාට උපදෙස් ලබාදී ඇතැයිද  එම අමාත්‍යාංශය කියා සිටී.

 

කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන ව්‍යාපෘතියේ බී පැකේජයේ ප්‍රගති සමාලෝචන රැස්වීම පැවති අවස්ථාවේදී අමාත්‍යවරයා එම උපදෙස් ලබා දුන්නේය.

 

2014 වසරේදී එවකට දෙරෙටේ නායකයින් අතර වූ එකඟතාවයක් මත කටුනායක ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ජපන් රජය ජපන් යෙන් මිලියන 74,394ක  ණය මුදලක් ලෙස පිරිනමා ඇත.

 

මේ සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම වැය කරන මුදල රුපියල් මිලියන 21,645 කි. මෙම ව්‍යාපෘතිය ඒ සහ බී පැකේජ දෙකක් යටතේ සිදුකෙරෙන අතර බී ව්‍යාපෘතිය සඳහා ඇස්තුමේන්තු ගත කර ඇති මුදල රුපියල් බිලියන 06කි.

 

 

මෙම බී පැකේජයේ ඉදිකිරීම් භාරව  ජපන් කොන්ත්‍රාත් සමාගමක් සිටින අතර  ගුවන්යානා නැවතුම් අංගන,  කුලී රථ ගාල්,  බැහැරුම් පථ වලින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය 2017 වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ කෙරුණු අතර  එම ව්‍යාපෘතිය 2019 ඔක්තෝබර් මාසයේදී අවසන් කිරීමට නියමිතව තිබුණි.

 

විවිධ හේතූන් මත එහි ඉදිකිරීම් ප්‍රමාද වී ඇති අතර ඉදිකිරීම් කටයුතු සඳහා රජය විසින් අදාළ කොන්ත්‍රාත් සමාගමට අමතර කාලයක් ලබාදී තිබූ අතර එම කාලය ද මේ මාසයෙන් අවසන් වීමට නියමිතය.

කෙසේවෙතත් ජපාන කොන්ත්‍රාත් සමාගම විවිධ හේතු දක්වමින් ව්‍යාපෘතිය අවසන් කිරීමට තවදුරටත් කාලය ඉල්ලා සිටි බැවින් අමාත්‍යවරයා කොන්ත්‍රාත් සමාගම සම්බන්ධයෙන් ජපාන රජයට පැමිණිලි කිරීමට තීරණය කර ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීය.

 

 

“මේක ආධාරයක් නෙමෙයි.ණයක්.දැනටත් මෙම ව්‍යාපෘතිය අවසන් කරන්න අවුරුදු 1 ½ කට ආසන්න කාලයක් ලබා දීලා තියෙනවා. අපිට කිසිම ආදායමක් නැතුව ණය ගෙවන්න වෙනවා. මේක ඉක්මන් කරන්න කියලා අවස්ථා ගණනවාවක කිව්වා. නමුත් විවිධ හේතු දක්වමින් තවත් ඒක අදිනවා. මේ රටේ ජනතාවගේ මුදල්. ඒ නිසා අපිට මේවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙනවා. ඒ නිසා අපි මේ පිලිබඳව ඔබේ රජයට පැමිණිලි කරනවා.ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ” යැයිද ඇමතිවරයා මෙහිදී දැඩි ලෙස අවධාරණය කළේය.

 

මෙම සාකච්ඡාවට සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර, අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ.චන්ද්‍රසිරි, උප සභාපති රජීව් සුරියාරච්චි යන මහත්වරු ද කොන්ත්‍රාත් සමාගමේ සහ උපදේශක සමාගමේ නියෝජිතයන් ද එක්ව සිටියහ.