කුෂාන් ජයවර්ධන
ගල්කිරියාගම කරවිලගල ප‍්‍රදේශයේ නිවසක තිබී සොයාගන්නා ලද දේශීය වශයෙන් නිශ්පාදිත අත්බොම්බයක් අද (16) පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සහය ඇතිව නිශ්ක‍්‍රීය කළ බව ගල්කිරියාගම පොලිසිය කියයි.
කරවිලගල ප‍්‍රදේශයේ පදිංචි හිටපු ගුවන් හමුදා සෙබලකුගේ නිවසේ තිබී එම අත් බෝම්බය සොයා ගත් අතර. නිවසේ හිමිකරු පොලිස් හදිසි ඇමතුම් අංශයට කරන ලද දැනුම් දීමක් අනුව සිදුකළ ක්ෂණික සෝදිසි මෙහෙයුමකදී අදාළ බෝම්බය සොයා ගැනීමට පොලිසියට හැකිව තිබේ.
නිවසේ හිමිකරුගෙන් පොලිසිය ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර එම අත්බෝම්බය එම නිවසට වෙනත් පුද්ගලයකු ගෙනවිත් දැමුවේද යන්න සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිසිය වැඩි දුර විමර්ශණ සිදුකරමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් පොලිස් අත්අඩංගුවට ගෙන නොමැති අතර. අත්බෝම්බය දේශීය වශයෙන් නිෂ්පාදිත එකක් බව සිදුකළ මූලික විමර්ශණ වලදී අණාවරණය වී ඇති බව පොලිසිය කියයි.
එහි කොටස් වැඩිදුර විමර්ශණය සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කරයි.
ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශණ සිදුකරති.

