ගුවන් හමුදා බුද්ධි තොරතුරකින් වැලි ජාවාරමක් වටලයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව පරණ එළුවන්කුලම ප්‍රදේශයේ කැණීම් බලපත්‍ර නොමැතිව නීති විරෝධීව පවත්වාගෙන ගිය වැලි ජාවාරමක් වටලා සැකකරුවන් සිව් දෙනෙකු සහ වාහන කිහිපයක් අද (02) අත්අඩංගුවට ගත්බව පුත්තලම පොලිසිය පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි තොරතුරු මත පුත්තලම විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම නීති විරෝධී වැලි කැණීම් ස්ථානය ප්‍රභල දේශපාලඥයකුට අයත් ඉඩමකට ආසන්නව පවත්වාගෙන යනු ලබන වැලි කැණීම් ස්ථානයක් බව පොලිසිය සඳහන් කළේය.

අදාල ස්ථානය තුළ වැලි කැණිම් සඳහා කිසිඳු බලපත්‍රයක් ලබා ගෙන නොතිබූ බවත් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් වසරකට අධික කාලයක් මෙම ස්ථානයේ වැලි කැණිම් සිදුකර ඇති බවත් පොලිසිය කියයි.

මෙම වැටලීම සිදුකළ ස්ථානයේ තිබූ බැකෝ යන්ත්‍රයක් , වැලි පැටවීමට යොදා ගත් ට්‍රැක්ටර් රථයක් හා ටිපර් රථයක් අත් අඩංගුවට ගත්බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (02) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.