ගුවන් යානා ඉන්ධන සඳහා ගෙවිය යුතු ණය මුදල් කොටස් ලෙස ගෙවීමට එකඟතාවක්


( දිල්රුක්ෂි ග්‍රේරු )

ගුවන් යානා ඉන්ධන සඳහා ගෙවීමට ඇති ණය  මුදල් කොටස්  ලෙස  ලංකා ඛනිජතෙල් නීතීගත සංස්ථාවට ගෙවීමට ශ්‍රී ලංකා ගුවන් සමාගම එකඟතාව පළ කර තිබේ.

ගුවන්යානා වෙනුවෙන් ගෙවීමට  ඇති ඩොලර්  මිලියන 87.5ක හෙවත් රුපියල් බිලියන 13.45ක ණය මුදලින් පළමුව අමෙරිකානු ඩොලර් මිලියන 05ක් හෙවත් රුපියල් මිලියන 800ක මුදලක් ඉදිරි සතිය තුළදී ගෙවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එකඟ වී තිබේ.

එමෙන්ම ඉතිරි ණය මුදල පියවීම සඳහා පෞද්ගලික  බැංකුවකින් ණය මුදලක්  ලබා ගැනීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ඉදිරියේදී ලබා ගැනීමට කටයුතු කරන බවටද එකඟ වී  ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ  ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය අතර පැවැති සාකච්ඡාවකින් පසු මෙම එකඟතාවට පැමිණ තිබේ. 

රාජ්‍ය ආයතනයක්  වශයෙන්  ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගමට   ගුවන්යානා ඉන්ධන ඉදිරියටත් අඛණ්ඩව සැපයීමට මෙමගින් තීරණය කළ බවද ඛනිජතෙල් නීතීගත සංස්ථාව සඳහන් කළේය.