ගුවන් යානයේදී වෙරිවී ගුවන් සේවිකාවගේ අතින් ඇද්ද ව්‍යාපාරිකයා දැලේ


(ඉන්දිකා රාමනායක)

ඩුබායි සිට කොළඹ බලා එමින් තිබූ ශ්‍රීලංකන් ගුවන් යානයක දී බීමතින් ගුවන් සේවිකාවකට අතවර කිරීමට තැත් කළ බව කියන ව්‍යාපාරිකයකු  ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

 මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්සේ පදිංචි (49) හැවිරිදි ව්‍යාපාරිකයකු යැයි පොලිසිය කියයි.

 මෙම ගුවන් යානය පසුගිය අඟහරුවාදා (22) ඩුබායි සිට පැමිණෙද් දී සැකකරු එහි ව්‍යාපාරික පන්තියේ අසුනක ගමන් ගෙන ඇති අතර ඔහු මිල අධික මත්පැන් ඉල්ලා එහි ගුවන් සේවිකාවක සමග බහින්බස්වී ඇයට පරුෂ වචනයෙන් බැණ වැදී ඇතැයි පැවසේ.

පසුව එම ගුවන් සේවිකාව වෙනත් ගුවන් සේවිකාවක් අත ඔහුට අවශ්‍ය මත්පැන් යවා ඇති අතර සැකකරු මත්පැන් ලබාගන්නා අතර ගුවන් සේවිකාවගේ අතින් ඇද ඇයට අතවර කිරීමට තැත්කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

 ඒ අවස්ථාවේ දී ගුවන් සේවිකාව සැකකරුගේ අත ගසා දමා පැන ගොස් ඇති අතර සැකකරු ඇයට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බව ද කියති.

ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළට ළඟා වූ අවස්ථාවේ ගුවන් සේවිකාවන් දෙදෙනා මේ සිද්ධිය එහි ආරක්ෂක නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසු ඔවුන් සැකකරු අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසියට බාර දී ඇත.

කොළඹ උතුරු කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත, කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුෂ රූපසිංහ මහතාගේ උපදෙස් මත, උපපොලිස් පරීක්ෂක ප්‍රනාන්දු, කොස්තාපල්වරුන් වන (16109) ජගත්, (38226) දිසානායක යන මහත්වරු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.