ගුරුවරුන්ගේ උසස්වීම් ගැන ගුරු සංගමයෙන් චෝදනා



(විනීතා එම් ගමගේ)
 
උපාධියක් හා අධ්‍යාපන ඩිප්ලෝමාවක් යන සුදුසුකම් දෙකම ඇති ගුරුවරු සඳහා උසස්වීම් ලබාදීමේ නිසි ක‍්‍රමවේදයක් අධ්‍යාපන අමාත්‍යංශය මෙතෙක් හඳුන්වා දී නැතැයි ගුරු සංගමය චෝදනා කරයි. 

2005 වසරෙන් පසු උපාධි හා අධ්‍යාපන ඩිප්ලෝමා ලබාගත් ගුරුවරුන් මෙම තත්ත්වයට මුහුණ දී සිටින්නේ යැයි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවැසීය. 

2014 නව ගුරු සේවා ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කිරීමෙන් පසු මෙම තත්ත්වය උදා වූයේ යැයි ද ස්ටාලින් මහතා ප‍්‍රකාශ කළේය.

මේ වනවිට කලාප කාර්යාල 96 මේ සම්බන්ධව ක‍්‍රියා කරනු ලබන්නේ ඒ ඒ කාර්යාලවල අභිමතය පරිදි යැයි ද ඔහු පැවැසුවේය.

මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ කිහිප අවස්ථාවක දී සාකච්ඡා කළ නමුත් මේ වන විට කිසිදු විසඳුමක් ලැබී  නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

එබැවින් මේ සම්බන්ධව නිවැරදි අන්දමින් සිදු කෙරෙන පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් එය ඉක්මණින්ම සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ස්ටාලින් මහතා තවදුරටත් ප‍්‍රකාශ කළේය.