(එෆ්.අස්ලම්)
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතරකට බලකරමින් සියලුම ගුරු වෘත්තිය සමිති ජූලි 18 සහ 19 දෙදින ලෙඩ නිවාඩු දමමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ලේකම් ෂෙහාන් දිසානායක මහතා පැවසීය.
මේ අනුව දිවයින පුරා සිටින ගුරු හා විදුහල්පතිවරුන් මෙකී වෘත්තිය ක්‍රියාමාර්ගයට සහාය දක්වනු ඇති බවත් එයින්ද විසදුම් නොලැබෙන්නේ නම් දෙවන වාරය තුළ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත් සදහන් කළේය.
මාර්තු 30 වැනිදා මෙරට සියලු ම ගුරුවරුන් හා විදුහල්පතිවරුන් නියෝජනය කරන වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී මෙකී තීරණය ගත් බවද හෙතෙම කීවේය.
1997 වසරේදී රාජ්‍ය සේවයේ වැටුප් කළමනාකරණය කිරීම සදහා පත්කළ බී.සී.පෙරේරා කමිටුව මගින් ගුරු විදුහල්පති වැටුප් කළමනාකරණය කරමින් විෂමතා සහිත කළමනාකරණය කර ඇති බවත් මෙකී විෂමතාව ඉවත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පවා නිර්දේශ කර තිබියදී රජය විෂමතාව ඉවත් කර නැති බවත් මෙය වෘත්තිය ක්‍රියාමාර්ගයට හේතුවූ මූලික කාරණය බවත් කීය.
එමෙන්ම රටේ දළ දේශීය ආදායමින් 6%ක ප්‍රමාණයක් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන්කිරීම, 2015 වසරේදී අහෝසි කළ විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත ලබාදීම, දරුවන්ගේ අධ්‍යාපනයට බාධා වන ආකාරයෙන් ගුරුවරුන් ලවා සිදුකරගන්නා ලියවිලි නතර කිරීම යන ඉල්ලීම්ද ඇතුළුව ඉල්ලීම් හතරක් මුල්කරගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකිරීමට සැලසුම් කර ඇත.
ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට මුහුණ පෑමට සිදුව ඇති මෙකී අසාධාරණයට රජය කඩිනම් විසදුම් ලබාදිය යුතු බවත් ජනාධිපතිවරයාද මෙහි වගකීම බාර ගතයුතු බවත් ෂෙහාන් දිසානායක මහතා අවසන් වශයෙන් සදහන් කර සිටියේය.

