ගුරුවරයකුට පහර දුන් සිසුන්6 ක් රැඳවුම් බාරයට


සිතුම් චතුරංග

කිලිනොච්චිය ජයන්තිනගර් හින්දු විද්‍යාලයේ ගුරුවරයකුට පහරදීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය අත්අඩංගුවට ගත් එම විද්‍යාලයේ සිසුන් හයදෙනකු ලබන මස 7 වැනිදා දක්වා යාපනය ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ තවදුරටත් රඳවා තබන ලෙස කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් ඒ.ආනන්ද රාජා මහතා අද (24) නියෝග කළේය.

පසුගිය (17) වැනිදා කිලිනොච්චිය ජයන්තිනගර් හි පාසලක සිසුවෙකුට එහි විනය භාර ගුරුවරයා පන්තිය තුළට යන ලෙස අවවාද කොට ඇති අතර පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් උරණවූ සිසුන් පිරිස අදාල ගුරුවරයා වෙත පහරදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කිලිනොච්චිය පොලිසිය පසුගිය (17) වැනිදා සැකකාර සිසුන් හයදෙනා අත්අඩංගුවටගෙන කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යාපනය ළමා රැදවුම් මධ්‍යස්ථානය වෙත භාරදීමට නියෝග කොට ඇත.

පහරදීමෙන් ගුරුවරයාගේ හිසට සහ අත්පා වලට තුවාල සිදුව ඇති අතර පහර කෑ ගුරුවරයා එදින කිලිනොච්චිය රෝහලේ ප‍්‍රතිකාර සඳහා ඇතුලත් කර තිබේ.