ගුරුකමට දොර අරින්නැයි සංවර්ධන නිලධාරිහු ඉල්ලති



බිඟුන් මේනක ගමගේ 
 
රාජ්‍ය සේවයේ සියලූම සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවා තරඟ විභාගය සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථාව ලබාදෙන්නැයි සංවර්ධන නිලධාරින්ගේ සංගමය අධ්‍යාපන ඇමැතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.
 
එහෙත් උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ඊට අනුයුක්ත ආයතනවල සිටින සංවර්ධන නිලධාරීන්ට පමණක් සීමාකර ඇති බැවින් සමස්ත සංවර්ධන නිලධාරින්ට එයින් අසාධාරණයක් වී ඇතැයි සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසයි.  
 
2012 වර්ෂයේ සිට උපාධිධාරීන් බඳවාගනු ලබන්නේ ඒකාබද්ධ සේවාවක් යටතේ වන බැවින් ඔවුන්ගේ පත්වීම් බලධරයා වන්නේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යැයි ද සංවර්ධන නිලධාරීන් ද එම ක්‍රියාවලියට අයත් බැවින් ගුරු සේවා තරඟ විභාගය සඳහා රාජ්‍ය සේවයේ සියලූම සංවර්ධන නිලධාරීන්ට අවස්ථාව හිමිවීම වඩා සුදුසු යැයි ද එම සංගමය පවසයි.  
 
ගැසට් නිවේදනයට අනුව මෙම විභාගයට අයදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය ජූනි 22 බැවින් එය දීර්ඝ කර රාජ්‍ය සේවයේ සියලූම සංවර්ධන නිලධාරීන්ට තරඟ විභාගය සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලා සිටින්නේ යැයි එහි ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා එම ලිපිය මගින් ඉල්ලා සිටියි. 
 
එමෙන්ම රටපුරා පවතින තැපැල් දෙපාර්තමේන්තු සේවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රටපුරා සියලූම තැපැල් කාර්යාල අක්‍රීයව ඇති බැවින් දැනට හිමිකම් සහිත නිලධාරීන්ගේ පවා අයදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ විය යුතු යැයි ද ඒ නිසා මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා මෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ.