(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහ විහාරස්ථානය ලෙස නම් සඳහන් කර එම විහාරස්ථානය ඉදිරිපිට ප්රදර්ශනය කර තිබූ නාම පුවරුව අද (14) මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ගලවා ඉවත්කරනු ලැබීය.
වසර දහයකට පමණ පෙර ස්ථාපිත කළ මෙම නාම පුවරුව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සීමාවේ අවසර නොමැතිව ප්රදර්ශනය කිරීම හේතුවෙන් ලැබුණ මහජන පැමිණිල්ලක් අනුව මෙලෙස ගලවා ඉවත්කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ගුරුකන්ද විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමි ට දැනුම් දී තිබේ.
පසුගියදා මුලතිව් මහෙස්ත්රාත් අධිකරණ නියෝග යටතේ විහාරස්ථානයේ දේවාලය නීරාවි පිල්ලයාර් කෝවිල ලෙස හදුන්වන ලෙස තීන්දුව ප්රකාශකිරීමෙන් අනතුරුව පිරිසක් පැමිණ එහි නම ප්රදර්ශනය කොට දෙමළ බසින්වූ නාම පුවරුව ඉවත් නොකර ඇති අතර ගුරුකන්ද විහාරස්ථානයේ නාම පුවරුව පමණක් ගලවා ඉවත කිරීමට කටයුතු කළබවද ගුරුකන්ද විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියෝ පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගුරුකන්ද පුරාණ රජමහ විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියෝ මෙසේද කීහ.
‘මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දැනුම්දී තිබුණා විහාරස්ථානයේ නම සදහන් පුවරුව ගලවා ඉවත්කරන බව. ඒ අනුව ඔවුන් පැමිණ මෙය ගලවා ඉවත්කළා. නමුත් මෑතකදී විහාරස්ථානය ඉදිරිපිට දෙමළ බසින් ප්රදර්ශනය කළ නීරාවි පිල්ලයාර් කෝවිල යන නාම පුවරුව ඔවුන් ඉවත් කළේ නැහැ. අපගේ නාම පුවරුව ඉවත්කොට එය අපට බාරදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් යන්න ගියා.
මෙම විහාරස්ථානය බුද්ධශාසන අමාත්යංශය යටතේ ලියාපදිංචි කරලා තියෙන්නේ. ඒ අනුව විහාරස්ථානයේ නම ප්රදර්ශනය කිරීමට පුළුවන්. අප මෙම නාම පුවරුව වසර දහයකට පමණ පෙර ස්ථාපිතකළ නාම පුවරුවක්. නමුත් එය ඉවත් කළා. විහාරස්ථානය තිබෙන්නේද මාර්ගය ආසන්නයේ වන බැවින් පන්සල් භූමියේ ඉදිකළත් මාර්ග සංවර්ධන නිලධාරීන් නාම පුවරුව ගලවා ඉවත් කරයිද යන්න සැකයි. මේ පිළිබඳව ඇත්තේ දැඩි කණගාටුවක්‘ යැයි හිමියෝ පැවසූහ.



(ඡායාරූප- සිතුම් චතුරංග)
වීඩියෝ දසුන් - රොමේෂ් මධුෂංක

