( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රාජ්‍ය සේවා කොමිසමේ නිසි අවසරයකින් සහ විධිමත් නීතිමය ක‍්‍රියාදාමය අනුගමනය කිරීමකින් තොරව ශ්‍රී ලංකා ගුරු සේවයේ උසස්වීම් ලබා නොදීමට නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් යැයි කියමින් මෙරට ගුරු සේවයේ නියුතු 4200කට උසස්වීම් ලබා දීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය මෙලෙස එකඟතාව පළ කළාය.
මෙම එකඟතාවය හමුවේ පෙත්සම තවදුරටත් විභාගයට නොගෙනම සමථයකට පත් කර ගැනීමට පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශව එකඟ විය.
ඒ අනුව පෙත්සම් විභාගය අත්හිටුවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
දේශපාලන පළිගැනීම වලට ලක්වූ ගුරුවරුන් බැව් කියන පිරිසක් එක්තරා පක්ෂයක පක්ෂ මූලස්ථානයට කැඳවා එහිදී අදාළ උසස්වීම් ලබා දීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයක්ද පවත්වා ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.
පසුගිය කාලයේ දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන්ට සහන සැලසීම සඳහා මෙම පියවර ගත් බව පැවසුවද එම සම්මුඛ පරීක්ෂණයෙන් පසුව අවිධිමත් ලෙස උසස්වීම් ලබා දීමේ සූදානමක් තිබූ බව එහි සඳහන් වෙයි.
එබැවින් එම පත්වීම් ලබා දීම වහාම අත්හිටුවන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

