දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවන් සංවෘත්ත සේවා බවට පත් කරන බව දුම්රිය වැඩ වර්ජනය පැවැති සමයේ ප්‍රකාශ කළ ද අධ්‍යාපන සේවාව සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ඉදිරි පියවරක් අධ්‍යාපන අමාත්‍යංශය හෝ වැටුප් කොමිසම හෝ ප්‍රකාශයට පත් කොට නැතැයි ලංකා ගුරු සංගමය කියයි.
මේ සම්බන්ධව යම් පියවරක් ගන්නට බලධාරින් අපොහොසත් වන්නේ නම් යලි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස සාමාජිකත්වය ඉල්ලා සිටින බව ද එම සංගමය පවසයි.
ශ්‍රී ගුරු සේවය හා විදුහල්පති සේවය ඇතුළු අධ්‍යාපන සේවාවන් සමස්ත වැටුප් ක්‍රමයෙන් කර වැටුප් සකස් කළ යුතු බව 2008.10.06 දින නිකුත් කරන ලද එස්.සී.එෆ්.ආර් 282/2008 නඩු තීන්දුවෙන් ප්‍රකාශයට පත් කොට තිබු නමුත් මේ දක්වා එය ක්‍රියාත්මක කර නැතැයි ද එම සංගමය පෙන්වා දෙයි.
1994 ගුරු සේවය පිහිටුවීමත් සමග ලබාදුන් වැටුප් පියවරයන් 1997 බී.සී. පෙරේරා වැටුප් කොමිසමෙන් අහෝසි කිරීමෙන් ඇති වූ වැටුප් විෂමතාවය 2006 වැටුප් කොමිසමෙන් පවා නිවැරදි නොවූ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පෙන්වා දුන්නේය.
වැටුප් විෂමතාවය නිවැරදි කරන ලෙස ඉල්ලා කළ උසස් පෙළ උත්තර පත්ර ඇගයීම් වර්ජනය කිරීමේ ක්‍රියාමාර්ගයේදී දී පවා වෘත්තීය ක්‍රියාමාර්ගය මර්දනය කිරීම සඳහා ගුරු සංගම් නායකයින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ බවත් ඒ සම්බන්ධයෙන් ගෙනගිය අධිකරණ ක්‍රියාමාර්ගය අවසන් වූයේ ගුරු සේවය වෙනම සේවාවක් බවට පත් කළ යුතු යන තීරණය ලබාදෙමින් බවත් හෙතෙම සිහිපත් කළේය.
එය ක්‍රියාත්මක නොවූ පසුබිමක 2017 දෙසැම්බර් 13 දින නැවත ගුරු සේවය සංවෘත්ත සේවාවක් බවට පත් කරන බව ප්‍රකාශ කළද අධ්‍යාපන බලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිදු සාධනීය ක්‍රියාමාර්ගයක් ප්‍රකාශ නොකරන තත්වයක් පැනනැගී ඇතැයි පැවැසූ ලේකම්වරයා ගුරු-විදුහල්පති වෘත්තීය සමිති මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කොට ඇතැයි ද කීය.

