ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියෙන් බැහැරව ගුරු මාරු මණ්ඩල නොකැඳවා අධ්‍යාපන අමාත්‍යංශය ගුරුවරුන් මාරු කර ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවැසුවේ ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය අනුව ගුරුවරු ස්ථාන මාරු කළ යුත්තේ ගුරු සංගම් නියෝජිතයන්ගෙන් ද සමන්විත මාරු මණ්ඩල හරහා බවයි.
ගිය වසරේ ගුරුමාරු මණ්ඩල නොකැඳවූ බවත්, මේ මස සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු 20ට හා 10ට වැඩි ගුරුවරු මාරු කර ඇති බවත්, අවුරුදු 20ට හෝ 10ට වැඩි ගුරුවරු මාරු කළ යුත්තේ ද ගුරු මාරු මණ්ඩල හරහා බවත්, ගුරුවරු මාරු කිරීමේදී බොහෝ කාරණා සළකා බලන බවත් ස්ටාලින් මහතා පැවසීය.
ඇතැම් පාසල්වල අවුරුදු 20ට වැඩි ගුරුවරු කොටසක් පමණක් මාරු කර ඇති බව ද, තවත් අවුරුදු 20ට වැඩි ගුරුවරු එම පාසල්වල සිටින බව ද, මාරු ලබා දුන් ඇතැම් ගුරුවරුන්ගේ ස්ථාන මාරු නැවත අහෝසි කර ඇති බව ද, මෙවැනි අක්‍රමවත් ගුරුමාරු නිසා ගුරුවරු කොට්ඨාසයකට අසාධාරණයක් සිදුවී ඇති බව ද ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.

