ඇත්කදුරේ ජනත් ද සිල්වා
අධ්‍යාපන ඉතිහාසයේ වාර්ථාවක් තබමින් එකම පාසලක වසර 27ක් ගුරු සේවයේ යෙදී සිටි ගුරු මාතාවකට ඇයට ප්‍රථම ස්ථාන මාරුව ලැබී ඇතැයි ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලය කියයි.
වසර 27ක් එකම පාසලේ සේවය කරමින් ගමේ දූ දරුවන්ගේ මව්පියන් සමඟ එකට කටයුතු කරමින් පාසලේ උන්නතිය වෙනුවෙන් තමන් වැඩ කල බවත් විශ්‍රාම ගැනීමට වසර කිහිපයක් තිබිය දී තමන්ට මෙම පාසලෙන් ඉවත් වීමට සිදුවීම දරා ගත නොහැකි වේදනාවක් බව පවසමින් වැඩ ආවරණය කරන විදුහල්පතිනිය මව්පිය රැස්වීමකදී සංවේදීව කථා කරමින් කදුලු සැලු අවස්ථාවේදී ඇතැම් මව් පියන්ගේ දෙනෙත් වලින්ද කදුලු වැටෙන්නට වු බව පාසල් සංවර්ධන සමිතියේ ප්‍රකාශකයෙක් පැවසීය.
වසර 27කට පසු එම ස්ථාන මාරුව ලැබී ඇත්තේ දකුණූ පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර අධ්‍යාපන කොට්ඨාශයේ ඇත්කදුර සීවලී මහා විද්‍යායේ වැඩ ආවරණය කල විදුහල්පති තනතුර දැරූ ඉලන්දාරි දේව රේනුකා ප්‍රියදර්ශනී මහත්මියට බව ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක මනෝජ් පද්මලාල් මහතා අප කල විමසීමකදී පැවසීය.
ඇත්කදුර සීවලී මහා විද්‍යාලයට මෙම ගුරු මාතාව 1991 මැයි 05 වන දින ස්වේච්චා ක්‍රිඩා ගුරුවරියක් ලෙස පාසල් අධ්‍යාපන කටයුතු වලට එක් වී 2009 වසරේ දි හිටපු විදුහල්පතිවරයා විශ්‍රාම යෑමෙන් පසු මේ වන තෙක් ම එම විද්‍යාලයේ වැඩ ආවරණය කරන විදුහල්පති ධුරයේ තමන් කටයුතු කල බවත් තමන්ට ලැබුණ මෙම ස්ථාන මාරුව නිහතමානිව භාරගෙන වෙනත් පාසලක ගොස් සේවය කිරීමට තමා කටයුතු කරන බව අයි. ඩී. රේනුකා ප්‍රියදර්ශනී මහත්මිය අපකල විමසීමකදී පැවසීය.
ලංකා ගුරු සංගමය පවසන්නේ දකුණේ ගුරු මාරු ප්‍රතිප්තිතය බරපතල ලෙස උල්ලංඝනය කරමින් ආයතනික සංග්‍රහය අනුව උපරිම වසර 08කට පසුව ගුරු සේවයේ යෙදෙන සියලු දෙනාටම හිමි විය යුතු ස්ථාන මාරුව මෙම ගුරු මාතාවට නොලැබීම තුලින් පෙන්වා දෙන්නේ දකුණේ ගුරු මාරු ප්‍රතිපත්තිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.