ගුරු උසස්වීම් ලක්ෂයක් ඇණහිටලා


(නිමල කොඩිතුවක්කු)

අධ්‍යාපන අමාත්‍යාංශය වසර තුනකට ආසන්න කාලයක් ගුරු උසස්වීම්වලට අදාළ වැඩපිළිවෙලක් සකස් නොකිරීම හේතුවෙන් ගුරුවරුන් ලක්ෂයකට අධික පිරිසකගේ උසස් වීම් මේ වනවිට ඇණහිට ඇති බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

1994 වසරේ ආරම්භ කළ ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව 2014.10.23 දින ගැසට් පත‍්‍රයකින් සංශෝධනය කර නව ගුරු සේවා ව්‍යවස්ථාවක් නිකුත් කළ අතර නව සේවා ව්‍යවස්ථාව නිකුත් කර වසර තුනක් ගතවී තිබුනද  මේ දක්වා උසස් වීම් සකස් කර හිඟ වැටුප් ලබාදීම අවසන් කර නොමැති බවද ඒ මහතා කියයි.

ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව උසස් වීම් ලබාගැනීමේදී කාර්යක්ෂමතා කඩයිම් වෙනුවෙන් මොඩියුල 20ක් සම්පූර්ණ කළ යුතු වේ.

වසර 03ක් ගතවී තිබියදී එම මොඩියුල මුදු‍්‍රණය කර ක‍්‍රියාත්මක කිරීමට අදාළ  අවසන් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර නොමැති බවත් මේ හේතුවෙන් පසුගිය 23 වැනි දා සිට ගුරු උසස් වීම් නතර වී ඇති තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඒ මහතා පැවසීය.

ගුරු සේවා ව්‍යවස්ථාවේ අන්තර්කාලීන විධි විධාන කාලය දීර්ඝ කරන ලෙසත්  වසර තුනකට ආසන්න කාලයක් ඒ සම්බන්ධ වැඩපිළිවෙලක් සකස් නොකිරීම පිළිබඳ සොයා බලා එම කටයුතු කඩිනම් කරන ලෙසත් එම සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි.