ගුරු - විදුහල්පති ගැටළුවලට විසඳුම් ඉල්ලා මහ සමුළුවක්


(තරිඳු ජයවර්ධන )

ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අදාළව අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙතෙක් නොවිසඳූ ගැටළු විසඳීමට බල කරමින් මහ සමුළුවක් පැවැත්වීමට තීරණය කළ බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව කියයි.

එම එකමුතුවේ කැඳවුම්කරු සහ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ මෙම ගැටළු විසඳා ගැනීමට දිගින් දිගටම විවිධ ක්‍රියාමාර්ග ගත්තත් අධ්‍යාපන අමාත්‍යංශය යටපත් ප්‍රතිචාරයක් දක්වා නැති බවයි.

විදුහල්පති II සහ  විදුහල්පති III පන්තිවල නිලධාරීන්ට 2015 නොවැම්බර් 13 වැනිදා සිට උසස්වීම්  දිය යුතු වුවද මේ වන තෙක් උසස්වීම්  දී නැතැයි ද, සමාන විභාගයෙන් පත්වීම් ලද විදුහල්පතිවරුන්ගේ පත්වීම් දින විවිධ වීම, 2016 මැයි නව වැනි දා පත්වීම් ලද III වැනි පන්තියේ විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ බහුතරයක් විධිමත් පරිදි ස්ථාන ගත නොකිරීම ඇතුළු ගැටළු රැසක් ඇතැයි ජෝසප් ස්ටාලින් මහතා කියයි.

ඒ අනුව මෙම ගැටළු කඩිනමින් විසඳන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව ලබන 24 වැනිදා මෙම සමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවට අයත් වේ.