ස්විට්සර්ලන්ත පුරවැසිභාවය දරමින්ම මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දිවුරුම් දුන් බව කියන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය පිළිබඳව පැන නැඟී ඇති ප්‍රශ්නය ජනතා පරමාධිපත්‍යය සහ නීතිය පිළිබඳ ප්‍රශ්නයක් වන බැවින් ඒ පිළිබඳ පුළුල් කරුණු විමසා බැලීමක් කරන බව අභියාචනාධිකරණය අද(19) සඳහන් කළේය.
ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රි ධූරය සම්බන්ධයෙන් අධිකරණය දෙනු ලබන ඕනෑම තීන්දුවක් කිසිදු විරෝධතාවකින් තොරව බාර ගන්නා බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා කළ දැනුම්දීමෙන් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා මේ බව සඳහන් කළේය.
ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කරන ලෙස ඉල්ලා ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපතිවරයා මේ බව කියා සිටියේය.
පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එම විරෝධතා ලබන දෙසැම්බර් 07 වැනිදා හෝ ඊට පෙර අධිකරණයට ලිඛිතව ගොනු කරන ලෙසද අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට නියෝග කළේය.
ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කේ.ඩබ්ලිව්.බුවනෙක, ෙජ්.කේ.අමරවර්ධන ඇතුළු හතරදෙනෙකු ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ, ආගමන විගමන පාලක , සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිලාභීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ හැකි ප්‍රතිපාදන ලබා දී නොමැති බවය. එසේම වගඋත්තරකාර ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය තමන් ද්විත්ව පුරවැසිලාභියෙක් බවට ඉකුත් වසරේ ඉංග්‍රීසි පුවත්පතක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බවය. එසේ තිබියදී ඇය අදාළ මන්ත්‍රීදූරයේ කටයුතු කිරීම නීතිවිිරෝධී බවත් ,එබැවින් ඇය එම ධූරයේ කටයුතු කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

