
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරුට වෙඩිතැබීමට පැමිණි යතුරුපැදිය සොයාගෙන සිද්ධියට සහාය දැක්වීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීව අත්බෝම්බයක් සහ ඝාතන සැලසුමට භාවිතා කල ත්‍රීරෝද රථය සමගින් අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිසිය කියයි .
ඉකුත් ජනවාරි 27 දා පානදුර කේතුමතී කාන්තා රෝහලේ සිට ගැබිනි කාන්තාවක පානදුර මූලික රෝහලට රැගෙන එමින් සිටියදී පානදුර මූලික රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු මග හරස් කොට ගිලන් රථ රියදුරුට වෙඩිතැබීමට උත්සාහ දරා තිබුණි .
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ගිලන් රථ රියදුරු , ගිලන්රථ සහායකයකු, වෙඩිතැබීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු , මුදල් ගනුදෙනු කල පුද්ගලයෙකු සහ වෙඩික්කරුවන්ට නවාතැන් පහසුකම් සැපයූ පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර , එදින ඔත්තු බැලූ සැකකරු පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් හත්දෙනාම රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝ වශයෙන් පරීක්ෂණ පොලිස් කණ්ඩායම විසින්, ගිලන් රථ රියදුරාට වෙඩිතැබීම සදහා පැමිණි යතුරුපැදිය සහ එක් වෙඩික්කරුවෙකු භාවිතා කල හිස්වැසුම එදින පානදුර , හිරණ පාලම ආසන්නයේ දමා ගොස් තිබියදී එය මාලමුල්ල ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් සගවා තිබියදී සොයාගෙන ඒ සදහා අනුබල සහ සහය දුන් සැකකරුවන් දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි .


