ගිරාඹේ ආනන්ද හිමියෝ අපවත් වෙති


චමිල් රූපසිංහ

අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක හිමියන්ගේ දේහය අද (20) පස්වරුවේදි පේරාදෙණිය ශ්‍රී සාරනන්ද පිරිවෙනට වැඩම කරවන බව එහි විහාරාධිකාරී අරණායක ශාන්ත හිමියෝ පැවසුහ. අපවත්වන විට ගිරාඹේ ආනන්ද අනුනායක හිමියෝ 80 වැනි වියෙහි පසුවූහ. 


ගිරාඹේ ආනන්ද අනුනායක හිමියෝ අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර උන්වහන්සේ  අද අලුයම අපවත් වූහ.  උන්වහන්සේ අපවත් වන විටත් අනුරාධපුර ශ්‍රී සාරනන්ද මහා පිරිවෙනේ හා පේරාදෙණිය ශ්‍රී සාරනන්ද පිරිවෙනේ විහාරධිපති ධුරය හොබවමින්  සිටියහ.

අද (20) පස්වරුවේදි පේරාදෙණිය ශ්‍රී සාරනන්ද පිරිවෙනට වැඩමකරවනු ලබන දේහය උන් වහන්සේ වැඩ සිටි අනුරාධපුර ශ්‍රී සාරනන්ද මහා පිරිවෙනට හෙට (21) උදැසන වැඩමකරවන බවද විහාරාධිකාරී අරණායක ශාන්ත හිමියෝ පැවැසුහ.