(අමල් වික්‍රමරත්න)
නෙළුව ප්‍රදේශයට සහ ඉහල ජලපෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් අද (15) අළුයම සිට ගිං ගඟ ආශ්‍රිත පහත්බිම් රැසක් යටවී ඇතැයි ගිංගග බාර වාරීමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා පවසයි.
ගිංගඟේ බද්දේගම ජල මාපාංකයට අනුව ගිංගඟේ පිටාර මට්ටම වූ මීටර් 3.80 ඉක්මවා එය අද උදසන 6.00 වන විට මීටර 3.90 ආසන්නයේ පැවති බවද අමරජීව මහතා කියයි.
මෙම තත්ත්වය නිසා මේ වනවිට බද්දේගම නාගොඩ හරහා කුරුපනාව මාර්ගයත් උඩුගම මාර්ගයේ උනන්විටිය,කැප්පිටියාගොඩ, සහ කුරුපනාව යන ස්ථානත් ජලයෙන් යටවීම නිසා වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මේ වනවිට ආපදා සහන කණ්ඩායම් සහ අවශ්‍ය බෝට්ටු සුදානම් කර ඇතිබව ද අපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂක කර්නල් දම්පත් රත්නායක මහතා පැවසීය.
මේ වනවිට ඉහල පෝෂක ප්‍රදේශවලට සහ පහළ ප්‍රදේශවලට සැලකිය යුතු වැසි වාර්තා නොවන අතර ගිංගගේ ජලමට්ටම වැඩිවීම පැයකට සෙන්ටිමීටර 0.5 පමණ වේගයක් ගන්නා බවද වාර්තාවේ.
අද උදෑසන වනවිට වැලිවිටිය දිවිතුර ,බද්දේගම,යක්කලමුල්ල,නාගොඩ,තවලම සහ නෙළුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම් සහ අතුරු ඇළ මාර්ග පිටාර ගැලීමෙන් ඇතැම් ස්ථානවල පහත්බිම් රැසක් මේ වනවිට යටවෙමින් ඇතැයිද ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
අද දිනයේ වැසි ඇති වුවහොත් මෙම තත්වය වෙනස් වියහැකි බැවින් පහත් බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාවට සැලකිලිමත් වන ලෙසද ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙයි.

