සිරිනිහාල් ගමගේ
ගාල්ල මහජන පොළෙහි අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පැමිණි ගාල්ල මහනගර සභා සේවකයන්ට අනවසර කඩ හිමියන් විරෝධය පල කිරීම නිසා අනවසර කඩ ඉවත් කිරීම නතර විය.
මේ අවස්ථාවේ එම ස්ථානයට ගාල්ල පොලිසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂක ජේ.එල්.කේ.කුමාර මහතා ඇතුළු නිලධාරින් පැමිණ අධිකරණ නියෝගයකින් මෙම ඉවත් කිරීම් සම්බන්ධයෙන් රැගෙන එන ලෙසත් එසේ නියෝග ලැබුණු පසු අනවසර කඩ ඉවත් කිරීමට අවැසි ආරක්ෂාව ලබාදෙන බවට පැවසිය.
එවිට නගර සභා නිලධාරින් හා එම කටයුතු සඳහා රැගෙන පැමිණි බැකෝ යන්ත්‍රය හා වාහන රැගෙන එම ස්ථානයෙන් පිටව යන ලදී.
මෙම අනවසර කඩ ඉවත් කිරීමට නගර සභා සේවකයින් උත්සාහ ගත් අවස්ථාවේ එම කඩ හිමි කාන්තාවක් වහලය මතට නැග විරෝධතා දැක්වූ අතර අනෙකුත් පිරිස්වාද විවාද කරමින් තමන්ට විකල්ප ස්ථානයක් ලබාදී මෙම කඩ ඉවත් කරන ලෙස දැන්විය.