ගාලු කොටුවෙන් මුහුදට අසූචි මිශ්‍ර ජලය


(සිරංගිකා ලොකුකරවිට) 
 

ගාල්ල කොටුවේ පැරණි පල්දෝරු පද්ධතියට අසූචි බැහැරකිරීම   තහනම් කර තිබිය දී කොටුවේ ඇතැම් නිවාස හා හෝටල් හිමියන් අසූචි මිශ්‍ර ජලය හා වෙනත් අපද්‍රව්‍ය එම පද්ධතියට බැහැර කිරීම හේතුවෙන් බරපතල ගැටලුවක් මතුව ඇතැයි ගාලු උරුමය පදනම පවසයි.
 

ගාල්ල කොටුවේ වෙරළ තීරය ඉතා සුන්දර හා සුරක්ෂිත වෙරළ තීරයක් වන බැවින් වෙරළේ ස්ථාන රැසක් දෙස් විදෙස් සංචාරකයෝ ස්නානය සඳහාත් ජල ක්‍රීඩා සඳහාත් බහුලව භාවිතා කරති.  නමුත් අසූචි මිශ්‍ර ජලය පැරණි පල්දෝරු පද්ධතිය ඔස්සේ   ස්නානය කරන ස්ථානවලට පැමිණෙන බැවින් ඔවුන්ගේ සනීපාරක්ෂාවට එල්ලවී ඇත්තේ බරපතල තර්ජනයකි.
 
ගාල්ල කොටුවේ පැරණි පල්දෝරු පද්ධතිය ඉදිකර ඇත්තේ පෘතුගීසීන් විසිනි. පසුව ලන්දේසීන් සහ බ්‍රිතාන්‍යයන් විසින් ද එම පල්දෝරු පද්ධතිය අසූචි ඇතුළු අප ජලය බැහැර කිරීම සඳහා භාවිතා කර ඇති අතර 1892 වර්ෂයේදී පල්දෝරු පද්ධතිය භාවිතයෙන් ඉවත් කරමින් බාල්දි වැසිකිළි ක්‍රමය ගාල්ල කොටුව සඳහා එවකට නගර සභාව විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. පල්දෝරු පද්ධතිය පිරිසිදු කිරීම් කම්කරුවන් විසින් කිරීමට සිදුවන බැවින් පසු කාලීනව පල්දෝරු පද්ධතියේ පතුල හාරා පහත් කර පතුල ගල් අතුරා  මුහුදු ජලය ඇතුළට පැමිණ ආපසු ගලායන ආකාරයෙන් සකසා අභ්‍යන්තර කාණු පද්ධතියක් ලෙස භාවිතයට ගෙන තිබේ.
 
1970 පමණ වන තුරු ගාල්ල කොටුවේ බාල්දි වැසිකිළි ක්‍රමය පැවැති අතර නගර සභාව විසින් බාල්දි වැසිකිළි භාවිතය වෙනුවට ඒ ඒ ගොඩනැගිලි හිමියන්ට වෙන වෙනම මළ බැහැර කරන ක්‍රමයක් සකසා ගන්නා ලෙස නියෝග කර ඇත. පැරණි පල්දෝරු පද්ධතිය තවමත් පැවතිය ද එය අභ්‍යන්තර කාණු පද්ධතියක් ලෙස භාවිතා කරන්නක් මිස පල්දෝරු පද්ධතියක් ලෙස භාවිතා නොකරන බැවින් එයට අසූචි ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීම තහනම් කර ඇත.
 
මෙම පැරණි පල්දෝරු පද්ධතිය මුහුදට විවෘතවන ස්ථාන 11ක් ඇති අතර එම විවර කිහිපයකින් ම අසූචි මිශ්‍ර ජලය මුහුදට එකතුවෙමින් පවතින බව ගාලු උරුමය පදනම විසින් නිරීක්ෂණය කර ඇත. කොටුවේ තාරකා අට්ටාලය, ට්‍රයිටන් අට්ටාලය සහ ප්‍රදීපාගාරය අසළ මුහුදු තීරයන් දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් ස්නානය සඳහා භාවිතා කරන අතර මේ ස්ථානවලට අසූචි මිශ්‍ර ජලය පැරණි පල්දෝරු පද්ධතිය ඔස්සේ පැමිණීම බරපතල ගැටලුවක් බව ද ගාලු උරුමය පදනම පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගාලු උරුමය පදනමේ සභාපති චන්න දාස්වත්ත මහතා මෙසේ පැවසීය

“පැරණි පල්දෝරු පද්ධතියේ විවර කිහිපයකින් අසූචි මිශ්‍ර අප ජලය මුහුදට එකතුවන බව අප නිරීක්ෂණය කර තිබෙනවා. මේ පල්දෝරු පද්ධතිය දැන් භාවිතා කරන්නේ අභ්‍යන්තර කාණු පද්ධතියක් ලෙස පමණයි. මෙලෙස අසූචි ජලය මිශ්‍ර කිරීම නීති විරෝධීයි. මෙය කොටුව අවට මුහුදේ ස්නානය කරන අයගේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක්. මේ වනවිට ලෝක බැංකුවේ ව්‍යාපෘතියක් යටතේ කොටු බැම්මේ සංරක්ෂණ කටයුතු කරනවා. පල්දෝරු පද්ධතියේ විවර පවා එම ව්‍යාපෘතිය යටතේ සංරක්ෂණය කළ යුතු වුවත් එයට මෙලෙස අසූචි මිශ්‍ර අපජලය පැමිණීම බාධාවක් වෙලා තිබෙනවා.

පසුගිය දා පැවැති ගාලු උරුමය පදනමේ කළමනාකරණ කමිටු රැස්වීමේ දී මේ සම්බන්දව සාකච්ඡා කර ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් යොදවා පරීක්ෂා කර එසේ අපවිත්‍ර ජලය හෝ අසූචි බැහැර කරන්නන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතා විසින් පවසා ඇත.

ගාලු උරුමය පදනම පවසන්නේ මේ සම්බන්ධයෙන් සමුද්‍ර දූෂණ අධිකාරියට හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කළ බවයි.  ගාල්ල කොටුවට පොදු මලාපවාහන පද්ධතියක් සකස් කිරීම කෙරෙහි ගාලු උරුමය පදනමේ අවධානය යොමුව ඇති බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.