ගාල්ලේ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මරුට


(අමල් වික්‍රමරත්න සහ නිමල් අල්ගේවත්ත )

හික්කඩුව බද්දේගම අධිවේගී  පිවිසුම් මාර්ගයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ව්‍යාපාරික ස්ථානයකදී අද(23) සවස සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ දොඩන්දුව  පටුවත, ගල්පොත්ත පදිංචි  පෙත්තා යද්දෙහිගේ සජිත් හිමාල් (30) සහ දොඩන්දුව කුමාරකන්ද පදිංචි කාරියවසම් පටුවත විතානගේ කුෂාන් ධනුද්දර (30) නමැති තරුණයන් දෙදෙනෙකි. මින් කුෂාන් වෙඩි වැදීමෙන් අනතුරුව කරාපිටිය රෝහල වෙත ගෙන එමින් සිටියදී මරුමුවට පත්වී ඇති අතර සජිත් එම ස්ථානයේදීම මිය යන්නට ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබඳව හික්කඩුව පොලිසිය මේ වනවිටත් පරීක්ෂණ අරඹා ඇති අතර මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර මෙය පළිගැනීමක් සදහා කෙරුණු මිනීමරුමක්ද යන්න සොයා බලමින් සිටින බවත් මියගිය එක තරුණයකු මිනීමැරුමක් පිළිබඳ චෝදනාලබා ඇති අයෙකු බවත් පොලිසිය කියයි.
හික්කඩුව බද්දේගම මාර්ගයේ තිබෙන CCTV දර්ශන ඔස්සේ කිසියම් හෝඩුවාවක් ලබාගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන පොලිසිය මේවනවිටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.