(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා )
දැනට පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ගාල්ලේ පවුල් 178 ක පුද්ගලයන් 575 ක් අද (19) පස්වරුව වන විට ආපදා තත්ත්වයට පත් ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසී ය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 77 ක ගස් කඩා වැටීමෙන්,පස් කඳු කඩා වැටීමෙන් හා අකුණු සැර වැදීමෙන් පූර්ණ හානියට නිවාස තුනක් ලක්වී ඇති අතර අර්ධ හානියට පත් නිවාස කරන 168 ක් බව ද දිස්ත්‍රික් ලේකම්වරයා කීය.
ගිං ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබීම හේතුවෙන් නෙළුව තවලම නාගොඩ සහ බද්දේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට සුළු ගංවතුර තත්ත්වයක් මේ වන විට බලපා තිබේ.
මේ හේතුවෙන් ගිං ගඟ දෙපස සහ පහළ නිම්නයේ වෙසෙන ජනතාව ට ඒ ගැන විමසිලිමත් ව සිටින ලෙස දැනට මාත් උපදෙස් දී තිබේ.
ගංවතුර තත්වය උග්‍ර වුව හොත් පීඩාවට පත් වන ජනතාව දැනට පවතින සෞඛ්‍ය නීති රීති වලට එකඟව සුරක්ෂා මධ්‍යස්ථානවල ස්ථානගත කිරීමට ද කටයුතු සැලසුම් කර තිබෙන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා කීය.
මෙම කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ද ලැබෙන බව ද පැවසූ දිස්ත්‍රික් ලේකම් වරයා දැනටමත් මේ සඳහා හමුදා අනු ඛණ්ඩ කිහිපයක් නෙළුව තවලම බද්දේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ස්ථාන ගත කර ඇති බව ද දිස්ත්‍රික් ලේකම් විදානපතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.

