ගාල්ලේ නියාගමට ධාරාණිපාත වැසි


(අමල් වික්‍රමරත්න  සහ  නිමල් අගලේවත්ත )

පසුගිය පැය 24 පුරා ඇද හැලෙමින් තිබෙන මහ වැසි හේතුවෙන් දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම පොද්දිවෙලපර  ප්‍රදේශයට ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම තත්වය නිසා ප්‍රදේශ කිහිපයක මේවන විටත් සුළු ආපදා තත්වයන් ඇතිවී තිබෙන බව ගාල්ල  ආපදා කළමනාකරණ ඒකකය පවසයි. කෙසේ  නමුත් පොද්දීවෙල ප්‍රදේශයට ඇදහැලී ඇත්තේ මිලිමීටර් 132.3 ක වර්ෂාවක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවල සදහන් කර ඇත.

හබරාදුව හරුමල්ගොඩ සහ තවලම පැලඉහළ නිවාස කිහිපයක් සහ පහත්බිම් වැසි ජලය නිසා යටවී ඇත. හිනිදුම තානායම ආසන්නයේ අධි බලැති විදුලි කණුවක් කඩා වැටීම,පැලවත්ත නෙළුව මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කදු කඩාවැටීම් ඇතුළුව මාර්ග කිහිපයක ගමනාගමනයට අද (24) උදෑසන වනවිට බාධා එල්ලවී තිබුණද මේ වනවිට එය ක්‍රමයෙන් අඩුවීමක් දක්නට ඇතැයිද ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා පැවසීය.

මේවන විට ගිංගඟේ ඉහළ ප්‍රදේශවලට පැවති දැඩි වර්ෂාපතනය නිසා එහි පහළ ප්‍රදේශයේ ජල මට්ටමද මේ වනවිට සැලකිය යුතු මට්ටමකින් ඉහල නගිමින් පවතී.