ගාල්ලට නිදහස අමතකවේ


ගාල්ල නගරයේ සෑම වර්ෂයක ම පැවැත්වෙන දකුණු පළාත් නිදහස් දින උත්සවය මෙවර සංවිධානය කැර නැත.

දකුණු පළාත් සභා ප්‍රකාශකයකු පැවසුයේ  එවැනි උත්සවයක් මෙවර සංවිධානය කැර නොමැති බවයි. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ද පවසන්නේ නිදහස් දින සැමරුමක් ගාල්ලේ පවත්වන බවට මෙතෙක් කිසිදු දැනුම්දීමක් ලැබී නැති බවයි.

දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ද මෙවර නිදහස් දින සැමරුම සම්බන්ධයෙන් උත්සව සංවිධානය කැර නැත. මේ සම්බන්ධයෙන් ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා කියා සිටියේ සාමාන්‍යයෙන් ගාල්ලේ පැවැත්වෙන නිදහස් දින උත්සවය සංවිධානය කරන්නේ දකුණු පළාත් සභාවෙන් වුව ද මෙවර එවැනි උත්සවයක් සඳහා ක්‍රීඩාංගණ වෙන්කැර නොමැති බවයි.

කෙසේ වෙතත් උත්සවය පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් මාධ්‍යවේදීන් කරුණු විමසීමෙන් පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නිදහස් දිනය සැමරීමේ උත්සවයක් කඩිනමින් සංවිධානය කළ බව ද දැනගන්නට ඇත.