ගාල්ල නව මන්ත්‍රී පියසේනගමගේ


(රංජන් කස්තුරි)

ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස පියසේනගමගේ මහතාගේ නම හෙට (08) ගැසට් පත්‍රයේ පළකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ එජනිස ධුරයක් පුරප්පාඩු පවතින බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබිණි.

ඒ අනුව එජනිස ගාල්ල ලැයිස්තුවේ ඊළඟට මනාප ලබාගත් අපේක්ෂකයාගේ නම මැතිවරණ කොමිසමට දැනුම් දෙන්නැයි එම කොමිසම ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියාට දන්වා යවා තිබිණ.

ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා පියසේන ගමගේ මහතාගේ නම අද කොමිසමට එවීමට නියමිතව තිබේ. එලෙස නම එවීමෙන් පසු කොමිසම රැස්වී තීරණයක් ගෙන එම අපේක්ෂකයාගේ නම ගැසට් කරන බව කොමිසම පවසයි.