ගාල්ල නගරය පුළුල් කරන්න ඕනෑ - වජිර


සිරංගිකා ලොකුකරවිට

  
‘ගාල්ල නගරය පුළුල් කළ යුතුයි. නගර සීමාව පුළුල් වන විට ඒකට සමගාමීව ප්‍රාදේශීය සීමා මායිම් වෙනස් විය යුතුයි. මෙය ගාල්ලට විතරක් නොවෙයි මුළු ලංකාවේ ම සිදුවිය යුතු දෙයක්. මේ සඳහා ජනතාවටත් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබෙනවා. ජනතාවගේ යෝජනාවන් ද සළකා බලා මේ සීමා මායිම් තීරණය කරන්න අපි කටයුතු කරනවා.’ ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.


ඇමැතිවරයා මේ බව පැවසුවේ අද (13) හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රෙජ්ජිපුර ග්‍රාම නිලධාරී වසම සඳහා ඉදිකරන ලද නිල සෙවණ කාර්යාලය විවෘත කිරිමේ උත්සවයට සහභාගී වෙමිනි.


එක් නිල සෙවණ කාර්යාලයක් සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වැයකරන මුදල රුපියල් ලක්ෂ 20කි. ඒ අනුව හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අද (13) රුපියල් එක්කෝටි හැට ලක්ෂයක වියදමින් සාදන ලද නිල සෙවණ කාර්යාල අටක් විවෘත කිරීම සිදු කෙරිණි.