ඩයනා උදයංගනී
ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය ඉවත් කිරීමක් සිදුවන්නේ නැතැයි යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා සභාපති එහි විධායක මණ්ඩල සාමාජික සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ගාලූ කොටුවේ ලෝක උරුම තත්ත්වයට හානියක් වන ආකාරයෙන්, ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ ඉදිකර ඇති මහින්ද රාජපක්‍ෂ ප්‍රේක්‍ෂකාගාරයේ කොටස් කිහිපයක් පමණක් ක‍්‍රමානුකූලව ඉවත් කිරීම පමණක් සිදුකරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මෙම ප්‍රේක්‍ෂකාගාරයෙන් ගාලූ කොටුවේ ලෝක උරුම තත්ත්වයට බාධාවක් ඇති වී ඇති බව යුනෙස්කෝ සංවිධානය වාර්තාවක් මගින් දැනුම් දී ඇතැයි කී අමාත්‍යවරයා එම පේ‍්‍රක්‍ෂකාගාරයේ කොටස් කිහිපයක් ඉවත් කරන ලෙස ද ඔවුන් දැනුම් දී ඇතැයි අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළේය.
යුනෙස්කෝ සංවිධානය මගින් ඒ සඳහා කාලයක් ලබා දී තිබෙන බව ද ඔහු කියා සිටියේය.
යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් එරීනා බුකෝවා මහත්මියද පසුගිය දිනෙක එය නිරීක්‍ෂණය කළ බව කී ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් එම සංවිධානය නිකුත් කළ සම්පූර්ණ වාර්තාව ඔවුන්ගේ වෙබ් අඩවියේද ප‍්‍රදර්ශනය කර තිබෙන බව පැවසීය.
ගාලූ කොටුව ලෝක උරුමයක්ය යන්න ගැන සැලකිල්ලක් නොදක්වා මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ කළ ඉදිකිරීම් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව කී ඇමතිවරයා දැන් ඒවායේ ප‍්‍රතිඵල භුක්ති විඳීමට සිදුව ඇති බවත් එදා එම වැරදි කළ අයට අද එයට විරුද්ධව කතා කිරීම දෛවෝපගත සිදුවීමක් බවත් ප‍්‍රකාශ කළේය.
ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (24) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.