ග්ලයිෆොසේට් නිසා මියගිය අයකු වෙනුවෙන් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු පවරන්න යයි


(දයාරත්න ඇඹෝගම)


ගල්යිපොසෙට් නිසා ලංකාවේ පිළිකා හා වකුගඩු රෝගයෙන් මිය ගිය එක් අයකු වෙනුවෙන් රුපියල් කෝටි දහය බැගින් (මිලියන සියයක්) වන්දි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු  පැවරීමට තීරණය කළ බව රජරට විශ්ව විද්‍යාලයේ   වෛද්‍ය පිඨයේ  මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (12)දින පැවසිය .
 මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා    මෙසේ ද පැවසිය.  

         
 ඇමරිකාවේ මොන්සැන්ටෝ   සමාගමට එරෙහිව ඇමරිකාවේ අධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුව පුර්වාදර්ශයට ගනිමින් ලංකාවේද ග්ලියිපොසෙට් කෘෂි රසායනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ  නඩු පැවරීමට අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.


ලංකාවේ මේ වන විට ග්ල්යිපොසෙට් හේතු කොට ගෙන පුද්ගලයින් 25000 ක් පමණ මිය ගොස් සිටිනවා . මේ පිළිබඳව අප දිගින් දිගටම පර්යේෂණ සිදු කරමින්   වකුගඩු හා පිළිකා සදහා මෙම කෘෂි රසායනය  සෘජුව  බලපාන බව පර්යේෂණ මගින් මනා ලෙස ඔප්පු කළා .නමුත්  එය වගකිව යුත්තන් විසින් පිලි ගත්තේ නැහැ.


මේ අනුව පාර්ශව හතරක්  සමඟ එක්ව මෙම නඩුව  පැවරීමට තීරණය කළා.ඒ සදහා පර්යේෂණ කළ අයකු ලෙස තමන්ද ,ග්ල්යිපොසෙට් හේතු කොට ගෙන  පිළිකා හා වකුගඩු රෝගයෙන් මියගිය පුද්ගලයන්ගේ දරුවන්ද ,ගොවි  සංවිධානද, දැනට රෝගය වැලදී ප්‍රතිකාර ලබමින් සිටින පිරිසද  ඇතුළු පාර්ශව හතරක් මේ සදහා එකතු වී සිටිනවා.


ඇමරිකාවේ මොන්සැන්ටෝ  සමාගම හා ලංකාවේ එහි නියෝජිතයන් මෙහි වග උත්තර කරුවන් ලෙස නම කර තිබෙනවා .මේ වන විට එම කටයුතු ආරම්භ කර ඇති අතර නඩු පැවරීම කඩිනමින් සිදු කරන බවද මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසිය.