ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට රතන හිමිගේ විරෝධය


(විනීතා එම් ගමගේ)
ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට ඇති හැකියාව පිළිබවඳ සොයා බැලීමට පත් කළ කමිටුව කැඳවීමට හෝ කටයුතු නොකර හොර රහසේම එම තහනම ඉවත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව දැඩි විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
 
කිසිදු විද්‍යාඥයකු හෝ කැඳවා විමසීමක් සිදු නොකර මෙම තහනම ඉවත් කර ඇතැයි ලංකාදීප කළ විමසීමක දී අදහස් දක්වමින් උන්වහන්සේ පැවැසූහ. 
 
තම නිරික්ෂණයන් අනුව නම් මැති ඇමතිවරු සම්බන්ධ  වී ගෙන්වාගෙන මේ වනවිට වරායේ සිරවී ඇති ග්ලයිෆොසේට් තොගය රට ඇතුළට ගැනීමට මෙසේ තකහනියේ තහනම ඉවත් කරගෙන ඇති බව පෙනී යන්නේ යැයි ද උන්වහන්සේ කීහ.
 
ජනතාව ගැන නොසිතා මෙවැනි තීරණ ගැනීම පිළිබඳ දැඩි විරෝධය පළ කරන බව රතන හිමියෝ වැඩි දුරටත් කීහ.