ග්ලයිෆොසෙට් ගැන හොයන ඇමැති කමිටුව එක් වරක්වත් රැස්වෙලා නෑ



 
විනීතා එම් ගමගේ
 
ග්ලයිෆොසේට් තහනම ඉවත් කරනවා ද නැද්ද යන්න ගැන තීරණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කැබිනට් ඇමති කමිටුව ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එකම වතාවක් හෝ රැස් නොවූ බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මඟින් ඒ පිළිබඳව ඉදිරිපත් කර ඇති කැබිනට්  පත්‍රිකාවේ සඳහන් වේ. 
 
‘ගරු ඇමතිතුමන්ලාට‘ ඇති අධික රාජකාරි හේතුවෙන් ඔවුන් රැස් නොවූ බව සඳහන් කරමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති එම පත්‍රිකාවෙන්  නිර්දේශ කර ඇත්තේ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට සළකා බැලිය යුතු බවයි.    
 
ග්ලයිෆොස්ට් තහනම ඉවත්කරන ලෙස හිටපු  කෘෂීකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක හා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන අමාත්‍යවරුන් දෙදෙනා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබු කැබිනට් පත්‍රිකාවක් අනුව එය කළ හැකි ද නැද්ද යන්න ගැන සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා  එම කමිටුව පත් කළේය.
 
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, සෞඛ්‍ය  පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහත්වරු   එම කමිටුවට අයත් වූහ.
 
රටටම බලපාන බරපතල ප‍්‍රශ්නයක් වී ඇති ග්ලයිෆොසේට් භාවිතය පිළිබඳව කැබිනට් අමාත්‍යවරු මෙවැනි නොසැලකිලිමත් බව පෙන්වීම  ඉතාම කණගාටුදායක තත්ත්වයක් යැයි  වස විස නැති ජාතික ගොවි ජාලය අද (15) පැවැත්වූ මාධ්‍ය හමුවක දී එහි සභාපති ප්‍රියන්ත පතිරණ මහතා ප්‍රකාශ කළේය. 

ඡායාරුප - චතුර එස් කොඩිකාර