ග්ලයිපොසේට් තහනමට එරෙහිව රට පුරා විරෝධතා


බිඟුන් මේනක ගමගේ
 
රජය තේ වගාව සඳහා ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමට කෙලින් තීන්දුවක් නොගන්නේ නම් රට පුරා විරෝධතා දියත් කිරීමට කටයුතු කරන්නේ  යැයි සමස්ථ ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සන්ධානය පවසයි.

 
වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ග්ලයිපොසේට්  තහනම ඉවත් කිරීමට ගත් තීන්දුව කුඩා තේ වතු හිමියන්ගේ අගය කිරීමට ලක් වන නමුත් විවිධ පාර්ශ්ව ඊට අකුල් හෙලීම කනගාටුවට කරුණක් යැයි එහි සභාපති කේ.එල් ගුණරත්න මහතා 'ලංකාදීපය'ට කීය.
 
ග්ලයිපොසේට් තහනම හේතුවෙන් තේ කර්මාන්තයේ කඩා වැටීම නිසා පවුල් ලක්ෂ 5ක ජීවන මාර්ගය අනතුරේ වැටී ඇතැයි කී හෙතෙම  මේ නිසා රජයේ නායකයන් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ඉක්මනින්ම ප්‍රකාශයට පත්කළ යුතු යැයි අවධාරණය කළේය.
 
උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත ඇමැතිවරයා සමඟ සාකච්ඡාවක් කළේ යැයි ද එහිදී සිය තීන්දුව දැනුම් දුන්නේ යැයි ද ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.