ගසාකන්නන්ට ආදර්ශයක් ලෙස මගේ සල්ලි ක‍්‍රීඩාවට යොදවනවා


ජාතික ක‍්‍රීඩා සංගම් තනතුරුවලට පැමිණ රජයේ මුදල් ගසාකෑමට උත්සාහ දරන ඇතැම් නිලධාරීන්ට ආදර්ශයක් ලෙස තමන් සිය පෞද්ගලික මුදල් මෙරට මලල ක‍්‍රීඩාවේ දියුණුවට යෙදවීමට තීරණය කළ බව මෙවර ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරික ධුරයට නාමයෝජනා බාරදුන් කිරාන් අතපත්තු මහතා ”ලංකාදීප”යට පැවසීය. ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නිලවරණය ලබන මැයි 3 වැනිදා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා රග්බි සංගමයේ වත්මන් භාණ්ඩාගාරිකවරයා ලෙසත් අතපත්තු මහතා කටයුතු කරයි. ඒ මහතා ”ලංකාදීප”යට මෙසේද පැවසීය. ”මලල ක‍්‍රීඩා නිලවරණයට තරග කර තනතුරු ගන්න මගේ කිසිම ආශාවක් නෑ. හැබැයි ඡන්දයට ආවොත් මම පැරදිලා යන මිනිහෙකුත් නෙමේ. රජයේ මුදල්වලින් රට යන ආසාවකුත් මගෙ ළඟ නෑ. මොකද ජාතික ක‍්‍රීඩා සංගම්වල තනතුරුවලට එන නිලධාරීන් සමහරු උනන්දු වන්නේ ක‍්‍රීඩකයන්ගේ පිහිටෙන් ”ටුවර්” යන්නයි. මලල ක‍්‍රීඩා සංගමයේ රැඳී හිටපු කෙටි කාලයේදීත් මම රාජකාරි විදෙස් සංචාර සඳහා ගියේ මගේ මුදල්වලින්. භාණ්ඩාගාරික ධුරයට මා පත්වුණොත් මගේ පොරොන්දුව ඉටු කරනවා. දිස්ත‍්‍රික් සංගම් සමග සාකච්ඡා කර දුප්පත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් මුදල් යොදවන්න මා සූදානම්. හැබැයි මේ මුදල් මං කොළඹට වියදම් කරන්නෙ නෑ. ඒවා යොදවන්නෙ ගමේ මලල ක‍්‍රීඩාව නැංවීමටයි. මෙරට මලල ක‍්‍රීඩාව නැංවීම සඳහා රුපියල් මිලියන දෙකක් ලබාදීමට කිරාන් අතපත්තු මහතා දැනටමත් ප‍්‍රතිඥා දී ඇත.