ගසකට යටවී මියගිය දරුවාගේ මරණයට සැකපිට ගස කැපූ පුද්ගලයා අත්අඩංගුවට


(නිශාන්ත කුමාර)

කපමින් තිබූ සියඹලා ගසකට යටවීමෙන් අවුරුදු 11 ක දරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගස කැපූ  පුද්ගලයා අද (08) අත්අඩංගුවට ගත්බව කන්දකැටිය පොලිසිය පැවසීය.

දරුවාගේ මරණය සැක කටයුතු බැවින් දරුවාගේ මළ සිරුර බදුල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර වාර්තාවක් ලබාදෙන ලෙස කන්දකැටිය හදිසි මරණ පරීක්ෂක ආර් එම් සෙනවිරත්න මහතා කන්දකැටිය පොලිසියට නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහකිවුල කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙකි.

මීගහකිවුල කෙසෙල්වත්ත ගම්මානයේ ගෙවත්තක සියඹලා ගසක් කපමින් සිටියදී   කපන ලද  ගසට යට වීමෙන් මීගහකිවුල කෙසෙල්වත්ත ප්‍රදේශයේ   පදිංචි 11 හැවිරිදි දරුවෙකු අද (08) දහවල් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර  පරීක්ෂණ පවත්වයි.