ගලේවෙලදී පාම්තෙල් පොල්තෙල් කරයි


(කාංචන කුමාර ආරියදාස)

ගලේවෙල එනමල්පොත හතේ කනුව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බව කියන ෆාම් තෙල් පොල්තෙල් කිරීමේ මහා පරිමාණ කම්හලක් අද (04) සොයාගත් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ වැටලීම් අංශය පවසයි.

මෙම ස්ථානයේ තිබී කලවම් කරන ලද පොල්තෙල් සහ ෆාම් තෙල් ලීටර්  25000ක් පමණ සොයාගත් බවත් මෙම ජාවාරම කරගෙන ගිය බව කියන ව්‍යාපාරිකයා සමග ලොරි රථයක් සහ කැබ් රථයක්  සැකපිට පොලිස් බාරයට  ගත් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් .ජි . ජයතිලක මහතා කියයි.


වැටලීම කරන අවස්ථාව වනවිට එහි ප්‍රධාන ව්‍යාපාරිකයා එම ඉඩම පිටුපස පිරිසක් යොදවා ගෙන නිධානයක් හෑරීමේ චෝදනාවට පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.
 

එම නිධානය හැරීමට පැමිණ සිටි ප්‍රදේශවාසියකු විසින් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත මෙම මහා පරිමාණ පොල්තෙල් ජාවාරම පිළිබඳව තොරතුරු ලබා දෙනු ලැබීය.

මේ දිනවල විශාල වශයෙන් පොල් තෙල් මිල ඉහළ ගොස් ඇති නිසා මෙම ජාවාරම කරන බවත් ප්‍රදේශ රැසක මෙම ජාවාරම සිදුවෙන බවත් සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායට පාපොච්චාරණය කළ බව ජයතිලක මහතා පැවසීය.

මේ පිළිබඳව කළ දැනුම්දීමකින් පසු ගලේවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක එච් .කේ .දයාරත්න මහතා එම ස්ථානයට පැමිණි අතර ඒ මහතා පැවසුවේ මෙම  ජාවාරම පිළිබඳව තම ආයතනයට තොරතුරු ලැබී තිබුනත් වැටලීම් සඳහා පැමිණෙද්දී ඔවුන් නොමඟ යවා ව්‍යාපාරිකයා එම ස්ථානයෙන් පිටත් වන බවයි.

මහා පරිමාණයෙන් සිදුවෙන මෙවන් ජාවාරමක් සොයාගත් පළමු අවස්ථාව මෙය බව පොලිසිය කියයි.