ගල්කිස්සේ ඒටීඑම් යන්ත්‍රයක ලක්ෂ 37ක් අතුරුදන්


බිමල්  ශ්‍යාමන් ජයසිංහ 
 
ගල්කිස්ස හෝටල් පාරේ විද්‍යාල හංදියේ පිහිටි ඒටීඑම් කුටියක රුපියල් ලක්ෂ 37ක් අස්ථාන ගත වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
 
පෞද්ගලික බැංකුවක කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් මෙම ඒටීඑම් කුටිය පාලනය වන අතර එහි මුදල් තැන්පත් කිරීම සමාගමක් මගින් සිදු කරන බව ප්‍රධාන කාර්යාල නිලධාරියකු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
 
මීට දින කිහිපයකට ඉහතදී පෞද්ගලික බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන් කුටියේ මුදල් ගණනය කිරීමේ දී රුපියල් තිස් පන් ලක්ෂයක මුදලක් අඩුවී තිබෙන බව දැනගෙන ඇති බව පොලිසිය කියයි.
 
මුදල් ලබා ගන්නා යන්ත්‍රයට කිසිදු අයුරකින් හෝ අලාභ හානියක් සිදු වී නොමැති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. 
 
එම මුදල් යන්ත්‍රයේ දොරගුලු විවෘත කිරීමේ සියලු තාක්ෂණ දැනුම තිබෙන්නේ පෞද්ගලික බැංකුව මගින් බලය පවරා තිබෙන සමාගමට පමණක් බව ද පොලිසිය කියයි.