ගම්පහ ව්‍යාපාරිකයාගේ බිරිඳට ඇප


ටෝනි කරුණානායක 
 
ජීව උණ්ඩ ළඟ තබාගන්නා ලදැයි කියමින් රිමාන්ඩ් බාරයට පත් කොට සිටි ගම්පහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ බිරිඳ ඇප මත මුදාහැරීමට ගම්පහ මහෙස්ත‍්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා නියම කළේය.

 
රුපියල් 7,500ක මුදල් හා රුපියල් ලක්‍ෂය බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු සහිත ශරීර ඇප මත සැකකාරිය මුදාහැරීමට නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා සැකකාරියගේ සැමියා සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබන ජුලි 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගම්පහ පොලිසියට නියම කළේය.
 
සැකකාරි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ප‍්‍රසන්ත ලාල් ද අල්විස් මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ ගම්පහ පදිංචි උදේනි ධම්මිකා මහත්මියයි.
 
සිද්ධියට අදාළව සිදුකළ පරීක්‍ෂණ වල ප‍්‍රගතිය අධිකරණයට දැනුම් දුන් ගම්පහ පොලිසිය අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව ඇගේ නිවස පරීක්‍ෂා කිරීමේදී එහි තිබී මිලි මීටර් වර්ගයේ පිස්තෝල  වලට  යොදන ජීව උන්ඩ 46ක් සොයා ගෙන ඇතැයි කීය.  සැකකාරිගේ සැමියා මේ වන  විට රටින් පිටව ගොස් ඇතැයි දැනුම් දුන් පොලිසිය නිවස පරීක්‍ෂා කරන අවස්ථාවේ එහි සිටි සැකකරිය අත්අඩංගුවට ගත් බවද   අධිකරණයට දැනුම් දුන්නේය. 
 
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රෝගී තත්වයෙන් රෝහල් ගත කළ සැකකාරිය පරීක්‍ෂා කළ ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඇගේ රෝගී තත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකාරියට තවදුරටත් වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය බව දැනුම් දී ඇතැයි උප පොලිස් පරීක්‍ෂක එම්. සේනාරත්න මහතා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
 
සැකකාරි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ප‍්‍රසන්ත ලාල් ද අල්විස් මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායිකාව මෙම කිසි`දු අපරාධයකට සම්බන්ධයක් නැතැයි කීය.
සැකකරියගේ සැමියා ව්‍යාපාර හයක් ඇති ව්‍යාපාරිකයකු යැයි ද මීට වසර ගණනකට ඉහතදී සිදුවූ සිද්ධියක් හේතුවෙන් සැකකරියගේ සැමියා පාතාල නායකයකු ලෙස පොලිසිය හඳුන්වන්නේ යැයි ද පොලිසිය පවසන මෙම සිද්ධියෙන් ඔහු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇතැයි ද කී ජනාධිපති නීතීඥ ප‍්‍රසන්ත ලාල් ද අල්විස් මහතා සැකකරියගේ සැමියාට පාතාල ක‍්‍රියාකාරකම් ඇත්නම් ඒ පිළිබඳව අධිකරයට කරුණු ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කරන්නැයි ඉල්ලීමක්ද කළේය.
 
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරිය ඇප නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන ජුලි 25 වැනිදා සැකකාරියගේ සැමියා සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්  කරන ලෙස ගම්පහ පොලිසියට නියම කළේය.