ගම්පහ රෝහලේ ශල්‍ය කටයුතු නවතින ලකුණු


( තිලකරත්න දිසානායක)
  
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නිතර විදුලිය විසන්දිවීමේ හේතුව සොයා ස්ථිර පිළියමක් යොදන තෙක් ප්‍රධාන ශල්‍යාගාරයෙහි ශල්‍ය කටයුතු නොකිරීමටත්  නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතු අලුතින් පැමිණෙන රෝගීන් රජයේ අවට රෝහල් වෙත යොමු කිරීමටත් රෝහල් පාලනාදිකාරිය තීරණය කොට ඇත.
 
ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) රෝහල් පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගනුලැබු බව ගම්පහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මුදිත් කරුණාතිලක මහතා පැවසීය.
  
මෙම රෝහලෙහි විදුලි සෝපානය අක්‍රීයවීම හේතුවෙන් පහළට බැසීමට තැත්කළ අයෙකු පහළට වැටී මියයාම සහ නිතර නිතර විදුලිය විසන්දිවීමෙන් ශල්‍යකර්ම ආදී කටයුතු වලට බාධා පැමිණෙන බව පවසා කඩිනම් විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලා අද (9) වෛද්‍යවරුන් ඇතුලු කාර්යමණ්ඩලය හදිසි වැඩවර්ජනයක නිතරවු අතර ඉන් අනතුරුව පැවති රැස්වීමේදී මෙම තීන්දු ගෙන තිබේ.
  
එම රැස්වීමේදී තීරණය කොට ඇත්තේ රෝහලෙහි බාහිර ප්‍රතිකාර සහ සායනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමටත් නේවාසිකව ප්‍රතිකාර ලැබියයුතු අලුතින් පැමිණෙන රෝගීන් පමණක් ප්‍රාථමික හදිසි ප්‍රතිකාර අංශයට යොමු කොට පරීක්ෂා කිරීමෙන් පසුව මුලික ප්‍රතිකාර ලබාදී අවට රජයේ වෙනත් රෝහල් කරා යැවීමටය.
 
විදුලිය විසන්දිවීම ශල්‍යකර්ම කටයුතු වලදී දැඩි සේ බලපාන බැවින් පවතින ගැටලුවට ස්ථිර විසදුමක් ලබාදෙන තෙක් ප්‍රධාන ශල්‍යාගායේදී ශල්‍ය කටයුතු නොකිරීමට එම කමටුවේදී තීරණය කළ බවද රෝහල් අධ්‍යක්ෂ වරයා පැවසීය.
 
ඊයේ දහවල් පැවති හදිසි රැස්වීම සඳහා රජයේ වෛද්‍ය සංගමයේ ගම්පහ රෝහල් ශාඛාවෙහි නිලධාරීන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩල නියෝජිත පිරිසක්ද , ලංකා විදුලි බල මණ්ඩලය , විදුලි සෝපාන සමාගම සහ විදුලි ජෙනරේටරය අයත් සමාගමෙහි ඉංජිනේරුවන් හා රෝහල් විදුලි නඩත්තු අංශයද සහභාගීවී තිබේ.