තිලකරත්න දිසානායක
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පවතින අපද්‍රව්‍ය දාහකයෙන් පිලිස්සීම් කටයුතු සිදුකිරීමට රෝහල් කාර්ය මණ්ඩලය විරුද්ධත්වය පළකිරීම මත දින ගණනාවක සිට අපද්‍රව්‍ය ගොඩගැසී තිබේ.
අපද්‍රව්‍ය පිළිස්සීමේදී නිකුත්වන දුම රෝහලෙහි 16 වැනි වාට්ටුව ඇතුළු බිළිදන් පවා සිටින අවට වාට්ටු වලට පැමිණෙන බැවින් විෂ සහිත ද්‍රව්‍ය නේවාසික රෝගීන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට ආග්‍රහණය වන තත්ත්වයක් පවතින බව පවසමින් මෙලෙස විරෝධතාවයක් පළව ඇත.
රෝගීන්ගෙන් බැහැර කෙරෙන ලේ තැවරුණු පුළුන්, ගෝස්, ප්ලාස්ටර්, එන්නත් කටු ඇතුළු වාට්ටු වලින් ඉවත් කරනු ලබන අපද්‍රව්‍ය මෙම දාහකයෙන් දහනය කෙරෙන බැවින් ඒවායෙහි අපද්‍රව්‍ය සහිත දුම අවට පැතිරෙන බවට කාර්ය මණ්ඩලයෙන් විරෝධතාවයක් එල්ලවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
වසර ගණනාවකට පෙර මෙම දාහකය ඉදිකොට ඇති ස්ථානය වාට්ටුවලට ඉතා ආසන්නව සුදුසු නොවන අන්දමින් ඉදි කිරීම මෙවන් ගැටළුවකට හේතුවී ඇති බවද රෝහල් කාර්ය මණ්ඩලය සදහන් කරයි.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් රෝහලෙහි නව අධ්‍යක්ෂ වෛද්‍ය මුදිත් කරුණාතිලක මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ දිනකට රෝහලෙන් කිලෝ 300 ක පමණ අපද්‍රව්‍ය ප්‍රමාණයක් මෙම දාහකයෙන් දහනය කෙරෙන අතර මෙහි නැගෙන දුම ඉහළට යැවීම පිණිස චිමිනිය උස් කිරීම හෝ සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම පිනිස අදාල නඩත්තු සමාගමට දැනුම්දී ඇති බවයි.

