ගම්පහ මහේස්ත්‍රාත්ට හදිසි මාරුවක්


(මනෝපීය ගුණසේකර සහ උපාලි රණවිර)

අධිකරණය දෙනු ලැබූ නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කොට ඇති බවට තීරණය කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපති මිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත මාරු කොට ඇත.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ස්ථාන මාරු කරමින් අදාල ලිපිය නිකුත් කර ඇත.

අහිංසක රටවැසියන්ට එරෙහිව නිස්සාරණ නඩු පැවරීමක් නොකරන ලෙසට සමස්ත පොලිස් නිලධාරීන් ම ආවරණය වන අන්දමට චක්‍ර ලේඛනයක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මීට පෙර අවස්ථාවක පොලිස්පතිවරයාට නියම කර ති බු අතර ඒ අනුව පොලිස්පතිවරයා විසින් කටයුතු නොකිරීම හේතුවෙන් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කරන ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ගම්පහ මහේස්ත්‍රාත්වරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර එම පැමිණිල්ලට අදාළ නිරීක්ෂණයක් නම් ඉදිරිපත් කරන ලෙස අධිකරණ සේවා කොමිසම විසින් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබිණ.

මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පූහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කර ඇත.