ගම්පහ පොලිස් කොට්ඨාසයේ කොටුවී සිටි ජනතාව පිටත් කෙරේ


( තිලකරත්න දිසානායක)

කොරෝනා වයිරස ව්‍යාප්තවීම වලක්වාලීම පිනිස පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් ගම් බිම් බලා යාමට නොහැකිව සිටි ගම්පහ පොලිස් කොට්ඨාසයෙහි 2022 ක පිරිසක් අද (13) පෙරවරුවේ ගම්පහ නගර සභා පිටියෙන් පිටත්කර හැරීමට පොලීසිය පියවර ගනු ලැබීය. 

රැකියාවන්හි නිරත සහ විවිධ අවශ්‍යතාවයන් මත ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණ පොලිස් බල ප්‍රදේශ 14 ක සිටි දිවයිනෙහි දිස්ත්‍රික් 22 ක පදිංචි පිරිසක් මෙලෙස පිටත්කර හැරීමට පියවරගත් බව ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ද ඉන්දික සිල්වා පැවසීය. 

මෙම අවස්ථාවට එක්ව සිටි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ උපදෙස් පරිදි මානුෂික ක්‍රියාවක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවය.

ජනතාව ගම් බිම් කරා පිටත්කර යැවීමේ මෙම අවස්ථාවට ගම්පහ පුරපති එරංග සේනානායක, ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ , බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය හා පොලිස් නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.